(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග සඳහා ද මෙහිදී අනුමැතිය හිමි විය.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ යම් තැනැත්තෙකු වෙත ප්‍රදානය කරනු ලැබූ මගී සේවා අවසර පත්‍රයක්, වෙනත් යම් තැනැත්තකුට පැවරිය නොහැකි වූ අතර මේ නිසා බස්රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විවිධ කළමනාකරණ ගැටලුවලට මුහුණදීමට සිදුවිය.

 මීට විසඳුමක් ලෙස 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත මගින් ඉහත විධිවිධාන සංශෝධනය කළ අතර ඒ අනුව මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.