(අංජුල මහික වීරරත්න)

අනිත් අයට මඩ ගහන බොරු කියන දේශපාලන ලෝකය  තිත්ත වෙලා තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ.

වැදගත් ප්‍රතිපත්ති ගරුක නායකත්වයක් ශ්‍රී ලංකාවේ හදා ගන්නට අවශ්‍ය බවද කාදිනල් තුමෝ කීහ.

කාදිනල් තුමන් මේ බව සඳහන් කළේය. 

මීගමුව පිටිපන මහා විද්‍යාලයට වසර 150 ක් සපිරීම  නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

එහිදී කාදිනල් තුමෝ මෙසේද පැවසූහ.

ලඟදි පාසලක ප්‍රධාන පැවිදි ආචාර්යතුමියක් ඉවත් කරලා ගිහියෙක් දැම්මා යැයි සිදුවූ කලබගෑනිය මැද්දේ කටුස්සා පාට මාරු කරනවා වගේ එහෙන් මෙහාට මෙහෙන් එහාට පනින  එක්තරා දේශපාලනඥයෙක් කොහෙන්දෝ ඉඳන් ඇවිත්  ඒකෙ වීරයා වෙන්න හදනවා.කතෝලික පැවිද්දෙක්ම දාන්න ඕන කියමින් කෑ ගහනවා.කතෝලික සභාවට සහ ධර්මයට කවදාවත් නැති ආදරයක් පෙන්නන්න හදනවා.

එක එක ආණ්ඩු වලින් පූජක පැවිදි උතුමන්ලාට ගුරු පත්වීම් දෙනවා යැයි පොරොන්දු දිදී අපි රැවැට්ටුවා.පස්සේ ජනාධිපති වුන කෙනෙක් මාස එකහමාරකින් ඒ ගුරු පත්වීම් දෙනවා යැයි මගේ මූණටම කිව්වා.ඒ මාස එකහමාර අද වන තෙක් ඇවිත් නැහැ.

එක්තරා පසුගිය රජයක හිටපු ඇමති කෙනෙක් උසාවියේ තීන්දු ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා යැයි කියමින්  කෑගහනවා.ඒ ඇමතිතුමා හිටපු ආණ්ඩුවෙන් එදා හිටපු අග්‍ර විනිශ්චකාරතුමියව බොරු චෝදනා නගා  තනතුරෙන් බලහත්කාරයෙන් නෙරපා හැරියා.ඒ මහත්තයා ඒ වෙලාවේ ඒකට ඡන්දෙ දුන්නා.මේවා දෙබිඩි ප්‍රතිපත්ති.

නීතිය උසාවිය හැම වෙලාවෙම නිදහස් වෙන්න ඕන.ඒක ඇත්ත.නමුත් ඒක හැම දේශපාලන පක්ෂයක්ම කළ යුතු දෙයක්.එක කට්ටියක් ඒක නොකර ඉඳලා අනිත් කට්ටියට ඒක කරන්නැයි කියා බනින එක වැරදි දෙයක්.ඒක බොරුවක් .එහෙම බොරු කරන්න එපා.

දේශපාලන නායකයෝ තමන් අඳින වස්ත්‍ර වලටවත් අඩු ගානේ ගරු කරන්න ඕන. ඒක නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තමන් ක්‍රියාත්මක නොකළ ප්‍රතිපත්තියක් ගැන දැන් දේශනා කරන්නේ එන්න එපා.පාර්ලිමේන්තුවේ එක පැත්තක අය අනෙක් පැත්තේ අය දිහා බලලා හොරු කියා කිව්වා.ඒ පැත්තෙ අය අනෙක් පැත්ත හැරිලා ඔයාලා හොරු යැයි කිව්වා. එතකොට ඔක්කොමලා හොරු යනුවෙන්ද කාදිනල් තුමෝ කීහ.