(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති "බුද්ධශාසන සභාව"  බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.

මෙම හමුවේදී, ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරිණු බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

එළඹෙන ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමට අදාළ මූලික සැලසුම් සකස් කිරීම, ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ "අධිෂ්ඨානයේ සංහිඳ" ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම, බැතිමතුන්ගේ පහසුව උදෙසා නිසි පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කළ අටපිරිකරක් හඳුන්වා දීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම, ශාසනික විනය, භික්ෂු අධ්‍යාපනය, ජාතික සංහිඳියාව සහ මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ ව්‍යසනයන් මැඬලීම සඳහා විශේෂිත කමිටු මගින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, සසුනට එල්ල වන විවිධ අභියෝගයන් හමුවේ බුද්ධශාසන සභාව සතු වගකීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත. ශාසනික පුනරුදය උදෙසා රාජ්‍ය මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබේ.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් පසුගිය කටයුතු සමාලෝචනය සහ ඉදිරි වැඩ සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරිණි.