(යොහාන් භාසුර)


එඩේරමුල්ල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට පොලිස් ත්‍යාග අරමුදල යොමු කළ මුදල් ත්‍යාග එම පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් වංචාසහගත ලෙස ලබාගෙන ඇතැයි කෑගල්ල පොලිස් කොට්ඨාසයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් පොලිස්පතිවරයාට සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබේ.

එඩේරමුල්ල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රැසකට අදාල ත්‍යාග මුදල් බන්ඩල අටක, වවුචර 200 ක් ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වැනිදා ලැබී ඇති බවත් එම මුදල් තමන් ඇතුළු ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් සිවුදෙනකුට ගෙව්වේ යැයි ව්‍යාජ සටහන් යොදා ලබාගෙන ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

අදාල ත්‍යාග මුදල ගැනීමට පැමිණෙන ලෙස කිසිඳු අවස්ථාවක වර්තමාන සේවාස්ථානයට පොලිස් පණිවුඩ නොලැබුණු අතර සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ස්ථානමාරු ලැබූ නිලධාරීන්ට වවුචරවලට අස්සන් කිරීමට පැමිණෙන ලෙස වර්තමාන සේවා ස්ථානයට පණිවුඩ එවිය යුතු බවත් පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා පසුගිය දිනක කැලණිය පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණි අවස්ථාවකදී එවැනි ත්‍යාග මුදලක් ලැබුණු බව දැනගත් බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.  

අදාල ත්‍යාග මුදල ලැබී මාස තුනකට අධික කාලයක් ගතව තිබුණ ද මේ දක්වා තමන්ට එවැනි ත්‍යාගයක් ඇතැයි දැනුම්දී නොමැති බවත් අදාල නිලධාරීන් සිවුදෙනාගේ රුපියල් 16,000 කට අධික ත්‍යාග මුදල් මෙසේ වංචා කර ඇතැයි පැවසේ.