ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා පත් කර ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අද දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය. 

කොළඹ, ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, 1992 වර්ෂයේදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වී ඇත.

1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව හදාරා, සංඥා විශේෂඥ පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින් හදාරා ඇත.

චීනයේ නාවික අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන්, අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින් ජාතික ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යන පාඨමාලාවද, ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලය වෙතින් ආරක්‍ෂක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත.

තවද, ආඥාපති නාවික හා සාගරික විද්‍යාපීඨය, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මෙන්ම, උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන්ද කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.