(චාන්දනී දිසානායක)

සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටදීම නිපදවා හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙක් සමත්ව සිටී.

ශ්‍රී ලංකාවේදී පළමු වරට එවැනි නිෂ්පාදනයක් කිරීමට සමත් වූ මේ නිර්මාණකරුවා වයඹ පළාත කේන්ද්‍ර කර ගත් නිකවැරටියෙන් බිහිවූ අයකු වීමද විශේෂත්වයකි. ඔහු නමින් සරත් දිසානායකය.

ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්ති පද්ධති සවි කිරීමෙහි නිරත සමාගමක් වන ඊසෝන් එනර්ජිහි අයිතිකරු මෙහි නිර්මාණකරුවාය.

ලෝකයේ බලශක්ති නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රධානතම නිෂ්පාදකයන් වන චීනය, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වැනි දියුණු රටවල් හා සමානවම මේ අපූරු නිර්මාණය දේශීය වශයෙන් සාර්ථකව නිපදවීමට සරත් දිසානායක නම් නිර්මාණකරුවා සමත්ව සිටීම විශේෂත්වයකි.

"පවර් මාස්ටර්" යනුවෙන් නම්කර තිබෙන ඔහුගේ මේ නව නිර්මාණය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සමරකෝන් සහ මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ජාතික තනි කවුළු පද්ධති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිලකාන්ත වන්නිනායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුණෑගලදී එළිදැක්වීම සිදු කෙරිණි.