IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුදනොද බිඳ - බඳ තෙද කඳ - කඳ දෙව්රද සාමිනේ

දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව්රද සාමිනේ //

මගෙ කුකුළා නැසූ එකා.....
මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා..... 
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල හෙලූව හෙල්ල - මුලමැ බෙල්ල මරු තැනේ

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ........
කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ - පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී..... දිගට ඇදී නැග පැහැදී - මහ හඬදී දෙවියනේ 
දිගට ඇදී..............................

රනින් කුකුළු රුවක් පුදමි - රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි - රුවට රිදී රුවක් පුදමි

කතරගමේ... කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ කතරගමේ...
කතරගමේ....................

කියමින් නම කුරු ඔබගේ - බොලඳුන් ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ - එකතින් හිමි සඳුනි මගේ

දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව්රද සාමිනේ //

මට කළ මෙවිපත අනේ - බලාගන්න දෙවියනේ.....
මට කළ මෙවිපත අනේ - බලාගන්න දෙවියනේ
වැජඹෙන නා මෙ විමනේ - බලන්න නා සාමිනේ

නා සාමිනේ...

 

සිංහල භාෂාවේ පවත්නා ශබ්ද ධ්වනිය හා අර්ථ ධ්වනිය ස්වකීය මාත‍්‍රානොඉක්මවා සම්මිලනය වූ පද්‍යමය අවස්ථාවක් මෙයින් දැක්වේ. මේ මහා හෙළයකු වූ කවියර රැයිපියෙල් තෙන්නකෝනුන් විසින් පබඳනා ලද රසැති පැදියෙකි. හෙළය ඉහළට එළවන්නට මහ වැර දැරූ මහ කවියෙකි හේ. ඔවුන්ගේ වවුලූව ආදී මහා කවි පොත් ඊට දෙස්ය. මේ පැදිය ගීයක් වූයේ හෙළ මියැසියේ ගදඹාණ කෙනෙකුන් වූ සුනිල් සාන්තයන්ගේ මිහිරි ගැයුමෙනි.

මෙහි වස්තු විෂය තද ගැඹුරු බවක් නොපෑවද පැදියේ අනුභූතිය ඉහළ තැනක බෙජෙයි. වස්තු විෂය වූ කලී ගැමියෙකු තමා සතු කුකුළා සොරා කෑ සොරු නසන්නැයි නා තුරු විමන සංහිඳක් තනා වතාවත් කැර කතරගම කඳ කුමරුන්ගෙන් කරන බලතර ඉල්ලීමකි. එසේ කළ හොත් දෙවියන් වෙත බාරහාර ඔප්පු කිරීමක්ද ඔහු කරන බවක් කියැවේ. එහෙත් කවියා මේ පැදිය නම් කරනුයේ හැවිල්ල නමිනි. හැවිල්ල නම් ශාප කිරීමයි. හැවීම යනුද එයමැයි. එළෙස හැවීම යනු නොයොදා හැවිල්ලයි කී කළ එම වදනේ කිසියම් කවියටම සුදුසු සරල සුගම මටසිළිටු ජන කවි වහරෙහි දැක්වෙතියි යන හැඟුම උපදවයි. නුමුසු හෙළ බස සුබැසිව ඔද ඇතිව තෙද ඇතිව හසුරුවනුයේ මෙලෙසැයි කියන්නට ගත් ඉතා හොඳ ආයාසයක් මම මෙහි දකිමි. පැදියට මුල පිරෙන අනුභූතිය අනුභවයෙන් වින්දනයෙන් පරිභෝජනයෙන් දැනීමෙන් හා අවබෝධයෙන් කිවියා ලද හැඟුම් කුළු ගන්වයි.

බසෙක ඔද හෙවත් ඔජස් ගුණය නොසැලෙන බව හෝ ගර්වය හෝ දීප්තිය හෝ ශක්තිය හෝ වන්නේ යැයි කියවේ. තෙද හෙවත් තේජස යැයි ගනුයේ දීප්තිය ප‍්‍රභාවය හෝ පරාක‍්‍රමයයි. නුමුසු හෙළ බසේ ඔද තෙද යැ මේ පැදියෙන් දිස්වන්නේ.

දුදනොද බිඳ යැ කී කළ කඳ කුමරුන්ට වෙසෙසිය. කඳ කුමරු ලොව පහළ වන්නේම තාරක නම් අසුරයාගේ ඔද බිඳ ලන්නටය.මේ පද යෙදුමෙන් හැඟැවෙනුයේ ලොවෙන් නරක තුරන් කැරෙන බවකි. ”බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ” නරක දුරහැර බැඳි තෙද කදින් යුත් කඳ දෙව් රජුනි යි කඳ කුමරු මෙහි ඇමැතේ. මෙයින් අප හද නැගෙනුයේ භක්ති රසයයි. මේ මහත් බැතින් කෙරෙන ඇමුතුමෙකි. සම්ප‍්‍රදායයක් වශයෙන් දෙවියන්ට කරන ගතානුගතික කන්නලව් වලදී ඔවුන් කළ වීරක‍්‍රියා දැක්වූ බල පරාක‍්‍රමයෙන් ආදිය සඳහන් කරන්නේමය. දුදන ඔද බිඳ යැ කීමෙන් කතරගම දෙවියන් මනු ලොවෙහි පෑ සියලූ බල පරාක‍්‍රමයන් ප‍්‍රපංචනීයත්වයෙක් ගත් බවක් පෙනේ. ”සාමිනේ” යන වදන ගත් කල එයින් බැගෑ බවක්ද ඒ පරයා නැගෙන දළ බල කිරීමක්ද ඇතැයි මට හැඟෙයි. දෙවියන්ට මේ අවනඩුව අසන්නටම හිත් දෙන අයුරින් එය ලියැවී තිබෙයි. එසේම ගැයෙයි. නොඅසා සිටිය නොහැකි වෙයි. මෙයින් දෙවියන් වෙත එළඹ මහා අඳෝනාවක් නගන්නෙකු සිහි ගැන්වෙයි.

”මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගේ පාළු යකා”

කුකුළා නසා ඇත. එබැවින් කඳ කුමරුගේ දදය හෙවත් කොඩිය පාළු වූ බවක් කිවියා පවසයි. කඳ කුමරු කුකුළු කොඩියක් දරන්නෙකි. ”සව්ළිඳු දද” යයි දෙවිඳු පොත පතෙහි වැහැරෙයි. ”කුක්කුට කේතන” යනුවෙන්ද එයම කියැවෙයි. ”තාම්‍ර චූඩ” යනුද එම අරුත්ම නංවයි. කඳ කුමරු කොඩියෙහි ජය සංකේතය වූ කුකුළා නැසීම දෙවියනට කළ මහත් නින්දාවක් සේ යදියාට දැනෙයි. කුකුළු සොරු දෙවියන්ගේ කොඩිය පාළු කළ යකෙකි. දෙවියෝ යකුන්ට සදා සතුරුය. යක්‍ෂ නාමයෙන් දුගුණැත්තන් විනා සුගුණැත්තෝ නොගැනෙති. මේ යකා යන පෙදින් ඒ දුගුණැත්තාම හඟවයි. ඒ යකුට ”තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා” දමන ලෙස බලවත් ඉල්ලීමක් කැරෙයි. එතෙක් ඉන්ට නොදී මකාලන්නැයි යදියා බලවත්ව යදියි. මකා දැමීම යන වදන හෙළයෙහි නැසීම වැනසීම පණ හානි කිරීම ආදී අරුත්හි යෙදේ. දෙවියන්ගේ ජය සංකේතයෙහි කුකුළු රුව නැසූ යකාට කුමට තවත් ඉන්ට ඉඩ දෙනුයේද? මෙහි එන බුද දිනය සිංහල ජන විඥානයට අනුව කෙම්මුර දිනයකි. දෙවි දේවතාවන් උදෙසා කරනු ලබන පිදීම කෙම්මුර නමින් යේ. ඒ කෙම්මරය පිදෙන්නේ කෙම්මුර දිනයකය. බුද දින හෙවත් බදාදා කෙම්මුර දිනයකි. තව එක බුද දිනක් දක්වා ඉන්ට නොදෙන්නැයි කී කළ යදියා මේ යැදුම කරනුයේ බුද දිනෙක බව ඇඟෙයි. මේ පැදියේ එළිවැට අපේ රසභාව උදුලවයි. එකා යකා මකා ආදී යෙදුම් යදියා සිය කෝපය පළ කරනු වස් යෙදුවද දෙ අකුරින් දෙ අකුරට තැබෙන යතිය ඇතිව ගැයෙන නද ආවේශ වූවෙකු කෝල විපරීතව කරනු ලබන හැසිරීම් විලාසයක් සිහි ගන්වයි. වරදකරු නසන්නැයි කරන ඉල්ලීමෙන් පැදිය රෞද්‍ර රසය ඉල්පවතියි සිතේ. කඳ කුමරු ලවා සොරු මරන්නට තනන්නේ උහු එතුමනට නිගා කළ බැවි හඟවමිනි.

”බලා එල්ල හෙළුව හෙල්ල මුලමැ බෙල්ල මරුතැනේ”

සොරු මරාලන්නැයි දෙවියන්ගෙන් ඉල්ලීමේදී යදියාගේ අදිටන තරව පිහිටා ඇති වදන් හරඹයෙන් අපට පෙන්වන හොඳම තැනෙකි මේ. හෙල්ල ගෙන බෙල්ල මුල මරුපළේ ඉලක්කයට එල්ල කර හෙළන්නැයි මේ පැදියෙන් කියයි. පෙදින් පෙද සදින් සද ගීතවත් මැවීමෙන් එහෙත් බියකරු සිතුයමක් සිතෙහි ඇඳීමෙන් කිවියා දේව කෝපයට ලක් වූවෙකු අපට පෙන්වයි. මෙහි හැසිරැවෙන වදන් මහිමය ඉතා අගනේය.

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ - පොළොවැ උලා නළල් ඇටේ

ඈත රුහුණේ පිහිටි කන්ද කදිර දෙවොළට ලබන විටේ යන බවක් මින් කියැවේ. ලබන විටේ යනු ලබන වර යැයි යේ. විට යන වදන සිංහලයේ වාරය හෝ අවස්ථාව හඟවයි. ඒ යන ගමන දෙපයින්ම යාමත් මගදී සිඟා ගැන්මත් කතරගම දෙවියන් පුදන අපේ පැරණි සිරිතෙකි. අදද උතුරේ සිට නැගෙනහිර වෙරල තීරය දිගේ හින්දු බැතිමතුන් පයින්ම ගොස් කතරගම දෙවියන් නමදින ”පාද යාත‍්‍රා” නම් වන්දනා ගමනක් අවුරුදු පතා යන බව අපි දනිමු. හිඟා කමින් පයින් කතරගම පුද බිමට දෙවියන් උදෙසා කරන වතකි. ඒ බැතිමතා සිය ඉමහත් බැතිය දෙවියන්ට පෙන්වන්නට කරන්නකි. තම කුකුළා වෙනුවෙන් යදින යදියාද එලෙස කරන්ට අදිටන් කර ගනී. ඔහු වඳින්නට සිතන්නේ නළල් ඇටය පොළොවැ උලමිනි. දැඩි බැතියෙනි. නළල් ඇටය යනු කපාලාස්ථියයි. යමෙකු මුදුන නවනුයේ භක්තිය හා භය සම්ප‍්‍රයුක්ත ඉමහත් ගෞරවය ඇඟවීමටයි. මේ හින්දු වන්දනා ක‍්‍රමය අනුව න්‍යාස හැටියට ගැනේ. නළල් ඇටය පොළොවැ උලන්නේ දෙවියන් ඉදිරිපිටය. දෙවියෝ එය බලා හිඳිතියි යදියා සිතයි. මෙම සියල්ල කෙරෙන්නේ තම කාරිය ඉටුවූ පසුවයි. තාන්ත‍්‍රික මතය අනුව ආඥා චක‍්‍රය පිහිටන්නේ නළල මැදය. මෙම චක‍්‍රය මධ්‍යයෙහි සූක්‍ෂ්මරූපී මනස පිහිටතියි තාන්ත‍්‍රිකයෝ තන්ත‍්‍රසාරයෙහි ලා කියති. ඒ ආත්මීය මනසයි. යදියා දෙවියන් ඉදිරියේ පොළොව උලා වඳිනුයේ එම ආත්මීය මනසිනියි මින් හැෙඟේ. ඉන් කියැවෙන වන්දනාව එතරම්මැ ගැඹුරුය.

දිගට ඇදී... දිගට ඇදී නැග පැහැදී මහ හඬදී දෙවියනේ දිගට ඇදී...

පොළොවෙ වැතිර දෑත් දෙපා ඉදිරියට හා පසු පසට විදා හැර පැහැදි සිතින් හිස මදක් ඔසවා දෙවියනේ යැයි මහ හඬ දී කරන මේ යාදින්න අප සිත්හි පැහැදිලි මනස් සිතුවමක් සිත්තම් කරයි. යාදින්න සවන් බිහිරි කරවන තරම් මහා හඬකින් පැතිර යනුද ඇසෙයි.

රනින් කුකුළු රුවක් පුදමි - රිදියෙන් බිජු වටක් පුදමි - රන් දුනු හී දෙකක් පුදමි - රුවට රිදී රුවක් පුදමි

භාෂාව ප‍්‍රාණවත්ව යෙදූ සැටියකි. රනින් කළ කුකුළු රුවක්ද රිදියෙන් කළ කුකුළු බිජුවටක්ද (බිජු අටක්නොව බිජුවටක්ද) ආදී වශයෙන් පුදමි පුදමියි පාද සතරම එකම වදනකින් නිමවයි. වැඩි වාර ගනනක් පුදමියි කීමෙන් යදියාගේ දැඩි අදිටනක් අපේක්‍ෂාවත් කුළු ගැන්වෙයි. මේ ජන කවියාද සිය කවීත්වය ප‍්‍රකට කළ තැනකි. රනින් කළ දුනු හී දෙකක් පුදමියි යදියා කියයි. කතරගම දෙවියෝ යුද්ධයට අධිපති දේව සේනාධිපතියෝද වෙති. දුන්න කඳ කුමරුන්ගේ සංකේත ආයුධයකි. දුටුගැමුණු රජතුමා එළාර රජු හා යුදට යද්දී කතරගම දෙවියන් ඇමතූයේ දුන්නෙන් විදි හී පහරකිනැයි ජන කථා වල කියැවේ. එය ද රන් හීයකි. දුන්න හා ඊයක් රනින් කරවා පුදන්නට බාරහාර වේ. දේව රූපය රිදියෙන් තනවා පුදන්නටද සිත මෙහෙයෙයි. යුදට අධිපති කම් දරණ කඳ කුමරු වෙතින් පිහිට ඉල්වා යැදි අයුරු හැම අරුතින්ම අැවුරුණු බස් පෙළහරක් බවට පත් කළ සැටි අපූරුය.

කියමින් නම කුරු ඔබගේ - බොලඳුන් ගෙ ද කිරි තුඩගේ - රඟ දෙන්නට වඩමි අගේ - එකතින් හිමි සඳුනි මගේ

කඳ කුමරුට බොහෝ නම් ඇත්තේය. එහි නමකුරු හෙවත් ඉන් කියැවෙන නම් කියමින් ඒවා බිළිදුන්ගේ කිරිතුඩඟින් හෙවත් ළපැටි මුවෙහිද රඟවන්නට එකකින් හෙවත් ඒකාන්තයෙන්ම අගය වඩනා බවක් කියැවෙයි. කරුණ ශාන්ත රස දනවන මේ වදන් පෙළ හැවිල්ලකට ගැලපේදැයි සන්දේහ උපදවයි. එහෙත් කවියා දෙවියන් යදින්නා තුල වැඩෙන බැතිබර හැඟුම හැමතින්ම ඉස්මතු කරන්නට උත්සාහ
කලසේය.

මට කළ මෙවිපත අනේ - බලාගන්න දෙවියනේ - මට කළ මෙවිපත අනේ - බලාගන්න දෙවියනේ - වැජඹෙන නා මෙ විමනේ - බලන්න නා සාමිනේ

අනේ මට කල මේ විපත ගැන බලා ගන්නැයි යදියා දෙවියන්ට කියති. මෙහි අනේ යැයි කියමින් යදියා මහා අසරණ අනාථ විලාසයක් දක්වයි. ඔහුට කඳ කුමරු හැර අන් සරණක් නැති. අවසන ඔහු නා විමනේ වසන රුක් දෙවියන්ගෙන් ද එහිම වෙසෙන නාගයා ගෙන්ද පිහිට ඉල්ලයි. නා සාමිනේ යැ කීමෙන් එ බව හැඟවේ. වරද කළවුන්ට නාගයෙකුගෙන් ඉල්වන දඬුවම කුමක්දැයි හැඟේ. හැවිල්ල හෙවත් සාපය නාගයින්ටද උරුම බව පැරණි සංස්කෘත සාහිත්‍ය කථාංගයන්හි දැක්වේ.

හැවිල්ලැයි මෙය නම් කළද දෙවියන් ඉදිරියේ බැගෑව කළ ඉල්ලීමකැයි මට හැඟේ. හෙළයේ මහා ගදඹාණන් වූ සුනිල් සාන්තයෝ මෙය සංගීතයෙන් රස ගන්වා තෙන්නකෝනුන් අදහස් කළ සේම පැදියෙහි ඒ ඒ තන්හි හඬ ලෙළ වා හඬ නළවා හඬ අවුළවා ගැයූහ. පදයෙහි ශබ්ද මාදූර්යය පසෙක තිබියදී අර්ථ රසය නැංවූයේ එකී ගායන විලාසයෙනි. ශ‍්‍රාවකයන් වසඟ කරන ඔවුන්ගේ ගැඹුරු එහෙත් තියුණු සිහින් ස්වරය ඊට උපකාරී වී ඇති සැටි මනරම්ය.

 


 

 



අදහස් (3)

දුදනොද බිඳ - බඳ තෙද කඳ - කඳ දෙව්රද සාමිනේ

විමලරත්න Monday, 18 January 2016 05:05 PM

හොඳ ලිපියක් (නි)

:       0       1

උපාලි Sunday, 31 January 2016 03:53 AM

මෙම ගීතය බුදුන් වදාළ ධර්මය පසන් කර දෙනවා අපිට ඉතාමත් අගනා ගීත විචාරයක් (ම)

:       0       0

ජනිත් විපුලගුණ Friday, 13 January 2023 12:20 PM

අගේ ඇති සටහනක්....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site