(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී   සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා, ඉකුත් ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල මෙක්සිකෝ නගරයේදී සංවිධාන කෙරුණු  UNAM–IPSA RC08 ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක්  ඉදිරිපත් කර ඇත. 

මෙම වැඩමුළුව“දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු: අභියෝග සහ පරිවර්තනයන්” (Parliaments in the Global South: Challenges and Transformations) යන තේමාව යටතේ සංවිධාන කෙරිණ.

 ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුන් සහ පාර්ලිමේන්තු පර්යේෂකයන් සමඟ සිය පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ (IPSA) ආරාධනයක් අනුව මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ (UNAM) පැවති මෙම වැඩමුළුවට කුලරත්න මහතා සහභාගී වූයේ  කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයකු වශයෙනි.

වැඩමුළුවට රටවල් 36ක් නියෝජනය කරමින් විද්වත්හු සහ පර්යේෂකයෝ 100කට අධික පිරිසක් සහභාගි වූහ.

“විධායකයේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාදායක සීමාවන්: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නීති සම්පාදනයේ පරිවර්තනය” (Executive Dominance and Legislative Constraints: The Transformation of Parliamentary Law-Making in Sri Lanka) යන මැයෙන් වූ ඔහුගේ පර්යේෂණ පත්‍රිකාව, ඔක්තෝබර් 6 වැනිදා පැවති “නියෝජනය සහ විධායක බලය” යන සැසියේදී ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තු නීති සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි විධායකයේ බලපෑම, ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වයට පවතින ආයතනික සීමාවන් සහ පාර්ලිමේන්තු වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව එම පර්යේෂණයෙන්  විමර්ශනය කෙරිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉරීනා ක්මෙල්කෝ (Irina Khmelko), එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමා කෘ (Emma Crewe) සහ මෙක්සිකෝවේ UNAM විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙම්වීර්ග් පුවෙන්ටේ මාර්ටිනෙස් (Khemvirg Puente Martínez) යන ජාත්‍යන්තර විද්වතුන් සමඟ චමින්ද කුලරත්න මහතා මෙම වැඩමුළුවේ ආරාධිත දේශකයෙකු වශයෙන් සහභාගි වීම විශේෂත්වයකි.

චමින්ද කුලරත්න මහතාට ලොව ප්‍රමුඛතම දේශපාලන විද්‍යාර්ථයින්ගේ සංගමයේ   (IPSA) සාමාජිකත්වයද  මෙහිදී  පිරිනමන ලදී.

කුලරත්න මහතාගේ මෙක්සිකෝ සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ ලතින් ඇමරිකානු ප්‍රධාන ව්‍යවස්ථාදායක ආයතනයක් වන මෙක්සිකෝ කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩලයේ  සහ සෙනෙට් සභාවේ පැවැති නිල හමුවීම්ය.

ඔක්තෝබර් 7 වැනිදා මෙක්සිකෝ කොංග්‍රසයේ දෙවන මණ්ඩලයේ (Chamber of Deputies) සංචාරයක නිරත වූ කුලරත්න මහතා, මෙක්සිකෝ කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අල්ෆොන්සෝ රමිරෙස් (Alfonso Ramírez) සහ එහි මහ ලේකම් හියුගෝ රෝසාස් (Hugo Rosas) ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ නිලධාරීන්ද හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙම සංචාරයේදී කුලරත්න මහතා ඇතුළු ජාත්‍යන්තර විද්වත් නියෝජිත පිරිසට මෙක්සිකෝ පාර්ලිමේන්තුවෙන් විශේෂ පිළිගැනීමක්   හිමිවිය.

පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී නියෝජිත පිරිස සභා ගර්භයට කැඳවා, මෙක්සිකෝ කොංග්‍රසයේ සභාපතිවරයා විසින් සභාව තුළදී නිල වශයෙන් ඔවුන් පිළිගෙන පැමිණීම අගය කරනු ලැබීය.

එමෙන්ම, මෙක්සිකෝ කොංග්‍රසයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවී නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තු පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව සැලසිණ.

විදේශීය රටක  පාර්ලිමේන්තු සභා ගර්භයකදී   මෙවැනි නිල පිළිගැනීමක් ලැබීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමාට  ලැබූණු  සුවිශේෂී අවස්ථාවක් බව   චමින්ද  කුලරත්න මහතා ඉරිදා ලංකාදීපයට  සඳහන් කළේය.