(රෝෂන් තුෂාර)

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ  අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත්  ක්‍රිෂ් ගනු දෙනු වේදී මුල් වූයේ යැයි කියන මහාපරිමාණ  මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ 41ක් අත්අඩංගුවට ගෙන ඇති බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද (08) පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ අදාළ භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවීමට නියමිත බවය.

ක්‍රිෂ් ගනු දෙනු වේ මුදල් ප්‍රේෂණය කිරීමට මෙරට හා විදේශීය රටවල බැංකු ගිණුම් විවෘත කිරීමට සම්බන්ධ පුද්ගලයින් ගේ හා ඔවුන් සේවය කළ සමාගම්වල සන්නිවේදන උපකරණ මෙසේ අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් පැවසීය. 

ක්‍රිෂ් ගනුදෙනුවේදී මුදල් සංසරණය වූයේ යැයි කියන සම්පත් බැංකු ගිණුම, එච් එස් බී සි බැංකු ගිණුමක් , එම ගිණුම් විවෘත කිරීමට මුල් වූ පුද්ගලයින් සහ එම සමාගම්  සම්බන්ධයෙන් රහස් පොලිසිය 2025 වසරේදී  ආරම්භ කළ    විමර්ශනය අනුව සෝදිසි වරෙන්තු ලබාගෙන අදාළ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. 

අදාල ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1200 000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1497446 ක් මෙරට බැංකු ගිණුම් වෙත  සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අදාළ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ නුවර එළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් හුවමාරු වී ඇති බවට රහස් පොලීසිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර , හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරු අධි චෝදනා ලබා ඇති ක්‍රිෂ් ගනුදෙනුවේදී තවත් මුදල් වංචා වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද  රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සෝදිසි වරින්තුවකදී  අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක මුර පද   ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මගින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදීම අධිකරණයේදී සිදුකෙරිණි. අදාළ ජංගම දුරකථනය හිමි පුද්ගලයා වෙනුවෙන් නීතිඥ සංජය මාරබේ මහතා සමග පෙනී සිට  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා  විමර්ශනයන්ට පූර්ණ සහය ලබාදෙන බවය.

ජංගම දුරකථනයේ මුරපදය ලබාදුන් ඩී ඒ ඒ සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ පසන් කරුණාරත්න හා ගීත් කරුණාරත්න යන මහත්වරුන පෙනී සිටියහ.

දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් විමර්ශන ගොනුව බහා තැබීය.