(දයාරත්න ඇඹෝගම)

කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා රුපියල් 24,43,480.00 ක් හා අයිස් වර්ගයේ මත්කුඩු ග්‍රැම් 04යි මිලිග්‍රැම් 170ක් සන්තකයේ තබාගෙන සිටියදි  අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව අසල පිහිටි හෝටලයකදි අත්අඩංගුවට ගත්බව කවරක්කුලම පොලිසිය කියයි.

ඉකුත් 14 වන දින කවරක්කුලම පොලිස් වසමේ උණගස්වැව හංදියේදි වේගයෙන් පැමිණි මෝටර් රථයක් විදුලි කණුවක ගැටි සිදුවු අනතුරින් පසුව එහි රියදුරා විසින් මෝටර් රථයද එම ස්ථානයේම අතහැර දමා පලාගොස් තිබුණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදි මෙම කපුවාද එම මෝටර් රථයේ ගමන් කොට ඇති බවද පොලිසිය පැවසිය.

ඒ සම්බන්ධයෙන් කවරක්කුලම පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකර විජිතපුර ප්‍රදේශයේ පදිංචි කලාවැව කඩවර දේවාලයේ 48 හැවිරිදි ප්‍රධාන කපුවාත් විජිතපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රියදුරාත් කුම්බිච්චන්කුලම වැව ආසන්නයේ පිහිටි හෝටලයක සැගවි සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබු ප්‍රධාන කපුවා හා රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරැව මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවත් පොලිසිය පැවසිය.