ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, එංගලන්තය අභිබවා යමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන විශාලතම විදේශික ජනගහනය බවට ඉන්දියාව පත්ව ඇත. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව 971,020 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය එංගලන්තයේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව (970,950) සුළු වශයෙන් අභිබවා යාමකි.

මෙම දත්ත මගින් සැලකිය යුතු ජනගහන විපර්යාසයක් පෙන්නුම් කරන අතර, 2015 වසරේ සිට මේ දක්වා ඉන්දියාවේ උපන් ජනගහනය ලක්ෂ පහකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. දිගු කලක් තිස්සේ ප්‍රථම ස්ථානයේ පසු වූ එංගලන්තය දැන් දෙවන ස්ථානයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 32%ක් විදේශ රටවල උපන් අය වන අතර, මෙය 1891 වසරෙන් පසු වාර්තා වූ ඉහළම ප්‍රතිශතයයි. 2025 මැද භාගය වන විට ඕස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනය මිලියන 27.6ක් වන අතර, ඉන් මිලියන 8.8ක් විදේශයන්හි උපන් පදිංචිකරුවන් වන අතර මිලියන 18.8ක් ඕස්ට්‍රේලියාවේ උපන් අය වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංකාවේ උපන් ප්‍රජාව ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේදී 158,300ක් සහ 2024 වසරේදී 172,800ක් ලෙස පැවති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2025 මැද භාගය වන විට 184,800ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයට දශකයකට පෙර, එනම් 2013 වසරේදී මෙම අගය පැවතියේ 110,000කට මඳක් වැඩි මට්ටමකය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශික ප්‍රජාවන් අතර ශ්‍රී ලංකාවට මේ වන විට 9 වන ස්ථානය හිමිව ඇති අතර, එය මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටීමකි. චීනය, නවසීලන්තය සහ පිලිපීනය සෙසු ප්‍රධාන විදේශික ප්‍රජාවන් අතර වේ.

මෙම ජනගහන වෙනස්වීම් හමුවේ එරට සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදයක් ද හටගෙන ඇත. ෆෙඩරල් විපක්ෂ නායක ඇංගස් ටේලර් , සමාජ ඒකාබද්ධතාවය සහ ජාතික වටිනාකම් පිළිබඳ ගැටලු‍ පෙන්වා දෙමින් සංක්‍රමණ පාලනය දැඩි කළ යුතු බවට ඉල්ලා ඇත. කෙසේ වෙතත්, රජයේ අමාත්‍යවරුන් එම යෝජනාව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

- දර්ශන සංජීව බාලසූරිය (ඩේලි මිරර්)