සති දෙකකට වැඩි කාලයක් තිස්සේ  ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන්   මරණ සංඛ්‍යාව 544ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතරට ළමුන් 08 දෙනකු සහ ආරක්ෂක නිලධාරීන් 48 කු ද ඇතුළත් බව වාර්තා වේ.

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනයට ප්‍රතිචාර වශයෙන්, හමුදා මැදිහත්වීමක් ඇතුළුව “ශක්තිමත් විකල්ප” සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

"අපි ඒ ගැන ඉතා බැරෑරුම් ලෙස සලකා බලනවා. හමුදාව ඒ ගැන සොයා බලනවා, ඒ වගේම අපි ඉතා ශක්තිමත් විකල්ප කිහිපයක් ගැන සලකා බලනවා. අපි තීරණයක් ගන්නම්," යැයි ඔහු ඊයේ (11) සවස විදෙස් මාධ්‍ය වෙත පැවසු බව වාර්තා වේ.

ඔහුගේ එම හමුදා ක්‍රියාමාර්ග තර්ජනවලින් පසුව, ඉරාන නායකයින් "සාකච්ඡාවක් සඳහා කතා කළ බවත්, ඒ වෙනුවෙන් රුස්වීමක් සංවිධානය වෙමින් පවතින බවත් නමුත් රැස්වීමට පෙර අපට ක්‍රියා කිරීමට සිදු විය හැකියි යනුවෙන්ද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදය ඉරානයට පහර දුන්නොත්, ඊශ්‍රායලය සහ කලාපයේ ඇමරිකානු හමුදා සහ නැව් මධ්‍යස්ථාන යන දෙකම නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වනු ඇතැයි ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා අනතුරු ඇඟවු බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය ඇමරිකානු හමුදා කඳවුරුවලට පහර දුන්නොත් එක්සත් ජනපදය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි විමසූ විට, “මීට පෙර කිසිදා පහර නොදුන් මට්ටමින් අපි ඔවුන්ට පහර දෙන්නෙමු” යනුවෙන් එයට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පිළිතුරු දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු විරෝධතාකරුවන් 10,681 කට වැඩි පිරිසක් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

විරෝධතා නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඉරාන රජය අන්තර්ජාල අවහිරයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. ඉරානයේ සිට තොරතුරු වාර්තා කිරීමට නොහැකි වීමත් එරට තුළ පවතින අන්තර්ජාල අවහිරතාත් නිසාවෙන් තොරතුරු ලබා ගැනීම සහ සත්‍යාපනය කිරීම දුෂ්කර බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර සිටි.

හසිනි නවෝද්‍යා