
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට පිළිතුරු ලෙස ඉරානය සමග ගනුදෙනු කරන සියලුම රටවලට සියයට 25ක ප්‍රතිශතයක අමතර බද්දක් පැනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සිය ටෘත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළ අතර ඉන් වැඩිම බලපෑම චීනය සහ ඉන්දියාවට එල්ල විය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග ගනුදෙනු කරන සියලුම රටවලට සියයට 25 ක තීරු බද්දක් පැනවීමත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර සිටියේ තීරුබදු යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති බවත් චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට හොඳින් දන්නා බවයි.
ඉරානය සිය ජාතික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවත් රටක අභ්‍යන්තර ගැටළුවලට මැදිහත් වීමට, තර්ජනය කිරීමට ඇමෙරිකාවට අයිතියක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සත්‍යයක් නම් සමථයකට පත්ව තිබෙන චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ යුද්ධය නැවත ආරම්භ වීමට මෙය හේතුවක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන් සියල්ලටම සියයට 25ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකාවේදී ඉන්දියානු භාණ්ඩ සඳහා පැනවෙන තීරු බද්ද සියයට 75 දක්වා ඉහළ යනු ඇත. 2024/25 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24 ක භාණ්ඩ ඉරානයට අපනයනය කර තිබූ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 440 ක භාණ්ඩ ඉන්දියාව ඉරානයෙන් ආනයනය කර තිබිණි.
ඉරානයේ අන්තර්ජාල සහ දුරකතන සබඳතා අද (13) දිනත් අවහිර වී තිබුනත් ඇතැම් පුද්ගලයන් ඉරානයෙන් පිටතට දුරකතන ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබී තිබූ බව වාර්තා විය. නමුත් එම දුරකතන අංකවලට පෙරළා දුරකතන ඇමතුම් ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බවද සඳහන් වූවේය. එසේම ඊයේ (12) රාත්‍රිය පුරාවට පෙර දිනට වඩා ඉරානයේ මාර්ග සාමකාමී ස්වභාවයක් ගත්තත් 16 වැනි දිනටත් අඛණ්ඩව විරෝධතා පැවැති බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd