(අංජුල මහික වීරරත්න)

වර්තමානය වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බව කී අමාත්‍යවරයා පවතින ලෝක යුද තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී  සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින්  සිටින බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනකු සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.මේ උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම පුහුණුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයේ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පළාත් මට්ටමින් පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථාන 11 කදී පවත්වන ලදී.

මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කොට ඇති සෞඛ්‍ය අධ්‍යපනය ලබා දීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රාජකාරී කටයුතු අධික්ෂණය, ක්ෂේත්‍ර පුහුණුවේදී  සිසු පවුල් සෞඛ්‍ය සේවිකාවන් අධික්ෂණය ආදී රාජකාරී  මෙම තනතුරට පැවරී ඇති වගකීම් අතර වේ.