(අංජුල මහික වීරරත්න)

මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් ව "ආරෝග්‍යා" ජංගම සුව සායනයක් පැවැත්විණි.

මෙහිදී පැවැත්වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  අඛණ්ඩව පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ 59 වන වැඩසටහනයි.

බටහිර වෛද්‍ය,  අක්ෂි, ආයුර්වේද වෛද්‍ය, සුවනාරි, දන්ත යන   සායන මෙන්ම දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව,  මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම, ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද වැඩසටහනේ ජංගම එක්ස් කිරණ රසායනාගාර සේවාව යන සේවාවන් ඇතුළු නොමිලේ බටහිර සහ ආයුර්වේද ඖෂධ ලබාදීමට ද කටයුතු කෙරුණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තුමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ මහ නගර සභාව යන ආයතන මෙන්ම අවට රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම ජංගම සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සහභාගි වී සිටියහ.

මෙම ජංගම සායනයෙන්  ලබාදෙන  ප්‍රතිකාරවලට අමතරව දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍ය බවට හදුනා ගන්නා රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අඳාළව පැවැත්වෙන විශේෂඥ සායන සදහා යොමුකිරීමට ද මෙහි දී කටයුතු කරනු ලැබීය.