ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා අරලියගහ මන්දිරයේ නිල රාජකාරි ආරම්භ කරද්දී මෙම ලිපි ගොනු හමුවී තිබේ.

එම ලිපි ගොනුවල ඇති කරුණුවල  සත්‍යතාව සම්බන්ධයෙන් සැකයක් නැතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතර හමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝරත්නයට දානයක් ද පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපි ගොනු හමු වී තිබේ. එම ලිපි ගොනු පිළිවෙළකට ඇසුරුම් කර තිබූ බව ද වාර්තා වෙයි.

ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපි ගොනුවල තිබී ඇත.

එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපි ගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.

උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශ්ව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපි ගොනුවල තිබී ඇතැයි ද කියැවෙයි. එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.

මෙම ලිපි ගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපි ගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි.

055