(අජිත්ලාල් ශාන්තඋදය)

 සිංහරාජ වනාන්තරයට පිවිසෙන මාර්ගයේ  කලවාන කුඩව ප‍්‍රවේශපත‍්‍ර කවුළුව අසල සිට වතුරාව සිංහරාජ ප‍්‍රධාන පිවිසුම තෙක් ඇති කිලෝ මීටර් එක හමාරක පමණ වූ මාර්ගයේ මීටර් 1400ක දුරක් කොන්ක‍්‍රීට් ගල්අතුරා ප‍්‍රතිසංස්කරණය කිරීමට  වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 සිංහරාජය නැරඹීමට එන ආබාධිත දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු සියලු සංචාරකයන්ගේ පහසුව සහ වැසි සමයේ සිදුවන සෝදාපාළුව වැළැක්වීම සඳහා මෙම මාර්ගය ඉදිකර තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා අලුතින් පාරක් කපන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල අතර ප‍්‍රචාරය වීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ සබරගමු පළාත් සභාවේ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එක්ව කළ සංචාරයකින්  පසු මෙම තොරතුරු අනාවරණය විය.

සබරගමු පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කලවාන විධායක ඉංජිනේරු යූ.එස්.පී. උඩවත්ත මහතා පැවසුවේ මෙය අලුතින් සකස් කරන මාර්ගයක් නොව 1971-72 කාලයේ සිංහරාජ වනාන්තරයේ දැවැන්ත ගස් කපා එම දැව කඳන් කොස්ගම තුනී ලෑලි කර්මාන්ත ශාලාව වෙත ප‍්‍රවානය කිරිමට ලොරි රථ ගමන් කළ මාර්ගය බව යි.

දැඩි සෝදා යාමට ලක්ව ඇති මෙම මාර්ගය 2004 වර්ෂයේ දී අඩි දොළහක් පළලට බොක්කු සහ පාලමක් යොදා සංවර්ධනය කළ බව ද ඔහු පැවසීය. කුඩව පිහිටි ප‍්‍රවේශපත‍්‍ර අලෙවිහල සහ රථවාහන නැවතුම ආසන්නයේ දොරණ ඇළ හරහා පාලම ද තනා ඇත්තේ 2004 වසරේ දී බව ද  ඊට පෙර එහි තිබී ඇත්තේ විශාල දැව කඳන් දෙපැත්තට යොදා තැනූ පාලමක් බව ද ඉංජිනේරුවරයා පැවසීය.

දැඩි බෑවුම් සහිත මෙම මාර්ග කොටස මීටර් 1600ක් පමණ දුරක් ඇති අතර එය දොරණ ඇලේ වම් ඉවුර ඔස්සේ සිංහරාජ ප‍්‍රධාන පිවිසුම වෙත ගමන් කරන බව ද පැවසුවේය. 

විශාල ලෙස  සෝදා පාලූවට ලක්ව ඇති මේ මාර්ගය ඔස්සේ වාහන  ගමන් නොකරන අතර මාර්ගය අලුත්වැඩියා කරන්නේ සෝදා පාලූව අවම කරගැනීමට බව ද පැවසීය.

’‘2004 වසරේ මේ පාර සෝදාපාලූව වැළැක්වීමට දැඩි බෑවුම් සහිත ස්ථාන කිහිපයක කොන්ක‍්‍රීට් අතුරා සංරක්‍ෂණය කර තියනවා. ඒ දුර මීටර් දෙසීයක් විතර වෙනවා. ඊට අමතරව කොන්ක‍්‍රීට් පයිප් යොදලා අඩි දොහළක් පළලට බෝක්කු කිහිපයක් ම යොදා තියනවා. දොරණ ඇළට සම්බන්‍ධවන කුඩා අතුඇළක දිය ඇල්ලක් ආසන්නයේ සෝදා පාලුව වැළැක්වීමට බොක්කුවට අමතරව පැත් බැම්මක් ද යොදා ජල කළමනාකරණය කර තිබෙනවා.’’

’‘මේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී  බර වාහන භාවිත කරන්නට පවතින පරිසරය අනුව හැකියාවක් නෑ. ඒ නිසා කියුබ් එකේ ලොරි,  කුඩා එක්ස්කැවේටර් සහ පස් තලන රෝල් භාවිතයට ගන්න උපදෙස් දීලා තියෙන්නේ. පාර දෙපස ඇති එක ගහක්වත්   වැලක්වත් කපන්න එපා කියලා අපි උපදෙස් දීලා තියනවා.’’
  
’‘මේ කරන්නේ සංරක්‍ෂණ ක‍්‍රියාවලියක්. කලින් කොන්ක‍්‍රීට් කළ කොටසේ පස ආරක්‍ෂා වෙලා තියනවා. අනික් කොටස හො`දටම සෝදාපාලූ වෙලා. විශාල ගල් මතු වෙලා. පයින් යන එන එකත් ඉතා අමාරුයි. අවදානම්. සමහර වැහි කාලවල යනකොට අනතුරක් වුණත් වෙන්න පුලූවන්. මේ පාර හදනකොට කිසිම ඉවුරක් කපන්නේ නෑ. ඇත්තටම ඉවුරක් කපන්න  ඕනෑ නෑ. පාර කපලා අවුරුදු 44ක් විතර වෙනවා.’’

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්‍ෂක මහින්ද සෙනවිරත්න මහතා අදහස් දක්වමින් සිංහරාජ වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් නිසා වසරේ වැඩිකාලයක් අධික වැසි පවතින ප‍්‍රදේශයක් බව පැවසුවේය. 

‘‘අන්තර් මෝසම් සමයේ සහ නිරිතදිග මෝසම් වැසි සමයේ තමයි වැඩිම වැසි ඇතිවෙන්නේ. කලවාන, වැද්දාගල දෙසින් සිංහරාජයට ඇතුළුවෙන්න වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් එනවා. ඒ අයට  ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරන කාර්යාලය ළඟ ඉඳලා ප‍්‍රධාන ගේට්ටුව ළඟට යන්න තියන මේ පාර සේදී ගිහිං හොඳටම අබලන් වෙලා.’’

‘‘මේ පාර හැදුවා කියලා මේ පාරේ වාහන යන්න අවසර දෙන්නේ නෑ. දැන් යන විදියට ම පයින් තමයි යන්න දෙන්නේ. සෝදාපාලූව වළක්වලා සංරක්‍ෂණය කරන්නයි මේ කටයුතු කරන්නේ. මෙහිදී ශාක හෝ සත්ත්ව ප‍්‍රඡාවට කිසිදු හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. මේ තියන විදියට තිබුණොත් වැසි කාලයට සිදුවන හානිය වැඩියි.’’