IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ විය යුතුය. එහෙත් ඒ වෙනුවට ජනතාවගේ රීරිමාංස උරා බොන, ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන් උස්සා පොළොවේ ගසන තත්ත්වයක් පවතී නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.

තමන්ගේ තැන්පතු භාරගෙන ඒවාට වඩා හොඳ පොලියක් ලබාදෙන කප්රුකක් සේ මහජනතාවගේ පිළිගැනීමට ලක්ව තිබෙන මූල්‍ය ආයතන තම තැන්පතු ගිලගත් යමපල්ලන් සේ ජනතාවට පෙනෙන්නේ එවැනි තත්ත්වයක් පවතින විටය. එවිට ජනතාව වැටෙන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. ලීසිං වාරික නොගෙවා සිටීම නීතිය හමුවේ වරදක් බව සැබෑය. එහෙත් ඒ සම්බන්ධව කතා කරන්නට යාම ජීවිතය අහිමි කරන අත්දැකීමක් විය යුතු නැත. එසේ සිදුවීම සමස්ත ලීසිං ව්‍යාපාරයම කෙරෙහි ජනතා විශ්වාසය කඩා ගැනීමකි. මේ වැරැදි දැක දැක ඒවා නියාමනය කිරීමේ පරම අයිතිය හිමි මහ බැංකුව ද බකං නිලාගෙන සිටීම මෙහි බරපතළම අනතුරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම සැර කතාවක් කළේ මේ තත්ත්වය පිළිබඳව යථා අවබෝධයකින් යුතුව බව මේ රටේ ජනතාව දැක ගත්හ. මහ බැංකුවේ කටයුතු පිළිබඳ සියලු‍ විස්තර ඔහුගේ ඇඟිලි තුඩු මත රැඳී තිබිණි. ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමේ කඩාවැටීම පිළිබඳ වගකීමෙන් ගැලවීමට මහ බැංකුවට හැකියාවක් නැතැයි කී ජනාධිපතිවරයා එම ආයතනය සම්බන්ධව කටයුතු කිරීමේදී මහ බැංකුව අසමත්වී ඇති බව ද ප්‍රකාශ කළේ එම කඩාවැටීම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කරන ලද විමර්ශන කමිටුව හමු වූ අවස්ථාවේදීය. ආරම්භයේ සිටම නිසි ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කර තිබූ ඊ.ටී.අයි. ආයතනයේ කටයුතු මහ බැංකුව මගින් අධීක්ෂණය කර නැතැයි ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබිණි. මහ බැංකු නිලධාරීන් හමුවේ ඉන්පසුව පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ද ෆිනෑන්ස් සමාගම වසා දැමීමේ තීරණය තමා දැන නොසිටි බවය.

ද ෆිනෑන්ස් සමාගම වසා දමන ලද ආකාරය මේ රටේ ෆිනෑන්ස් සමාගම්වල පමණක් නොව බැංකුවල පවා මුදල් තැන්පත් කර ඇති සියලු‍ දෙනා තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් විය. වසා දැමුණු එම ආයතන ඉදිරිපිට හඬා වැටුණු මෙරට වැඩිහිටි ජනතාවගේ විලාපය මෙරට සෙසු තැන්පතුකරුවන්ට අකුණු පහරක් විය. එහිදී තමන් ආපසු ලබා දෙන්නේ ලක්ෂ 06 ක් පමණක් බවට වන මහ බැංකුවේ ප්‍රකාශය මෙරට මූල්‍ය සමාගම් කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය දැඩිව පළුදු කිරීමට සමත් විය. ලක්ෂ 50 ක් 60 ක් තැන්පත් කර ඇති අයකු තමන්ට ලැබෙන්නේ ලක්ෂ 06 ක් පමණක් බව දැනගැනීම ඒ සියලු‍ තැන්පතුකරුවන්ගේ හදවතට පිහියෙන් ඇනීමකි. ඒ බව නොදන්නා නිලධාරීන් මහ බැංකුවේ භාරධූර කටයුතු මෙහෙයවන්නේ කෙසේදැයි සිතාගැනීමත් අමාරුය.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබීම වැදගත් වන්නේ මේ පසුබිමේය. මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදු කරනු ලබන සමාජය අනුමත නොකරන ක්‍රියා සොයා බලා ගත යුතු ඉදිරි පියවර හා නිර්දේශ පිළිබඳ වාර්තාවක් දින 14 ක් තුළදී ලබා දිය යුතු බවට ද මහ බැංකු අධිපතිවරයා එම කමිටුවට නියෝග කර තිබේ.

එහෙත් ජනාධිපතිවරයා ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන තුරු නොසිට මේ වැනි කමිටුවක් ඊට පෙර පත්කර තිබුණා නම් වඩා සුදුසු බව අපගේ විශ්වාසයයි. මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් හරහා මහජනතාව අනුමත නොකරන බොහෝ දේ සිදුවන බව ඒ වනතුරු මහ බැංකු අධිපතිවරයා නොදැන සිටීම ඊට හේතුවී දැයි අපි නොදනිමු. එහෙත් අඩුම තරමින් ද ෆිනෑන්ස් සමාගමට ඉබියතුරු දමන අවස්ථාවේදී හෝ ඒ ගැන විමසිලිමත් වීමට ඉඩ තිබිණි. ඒ පිළිබඳ තමන්ට තොරතුරු නොදන්වා සිටි නිලධාරීන් පිළිබඳ මහ බැංකු අධිපතිවරයාට දැන් හෝ අවබෝධයක් තිබිය යුතුය. නැතහොත් අනාගතයේදී මීට වඩා බරපතළ ප්‍රතිවිපාක ඇතිවන සිද්ධීන් පිළිබඳ අපට අසන්නට ලැබෙනු ඇත.

මේ රටේ මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් සම්බන්ධ කටයුතුවලදී තමන්ට සිදුකළ හැක්කේ තැන්පතුකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට සොච්චමක් ලබාදී ආයතන වසා දැමීම පමණක් නම් මහ බැංකුව එකී ආයතන සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කිරීමෙන් ඵලක් නැත. අඩුම තරමින් ජනතාවට පොලු‍ තබන මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් අයිතිකරුවන් හිරගෙදරට යවන නීති හඳුන්වාදීමේ වගකීම හෝ මහ බැංකුවෙන් ඉටුවිය යුතුය.

 



අදහස් (5)

මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා

niyomal Friday, 19 June 2020 07:13 AM

මුදල් නොදී පොලි අය කිරීම කරන්නෙම පෞද්ගලික මූල්‍ය සමාගම් මගින්... මේ තුච්ච වැඩේ බැංකුවලින් කරන්නේ නැහැ. මහ බැංකුවෙන් අහපුවාම කියනවා ආයතන පවත්වා ගැනීම උදෙසා එ්ක වළක්වලා නැහැලු. නමුත් කතා කරපු ඔෆිසර් කීවේ "මම නම් ඒ මුදල් නොදී පොලී ගන්න වැඩේට කැමති නැහැ කියලා" ඇත්තටම අපිට මහ බැංකුවක් අවශ්‍ය නැහැ වගේ හිතෙනවනේ...

:       0       15

Rohana Friday, 19 June 2020 09:35 AM

ඇතැම් මූල්‍ය ආයතන වසාදැමීම එකවර සිදුවුණත් ඒවායේ කඩාවැටීම දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිදුවූ දෙයක්. මූල්‍ය ආයතනවල තැන්පතු අවදානම පිළිබඳව විටින්විට මහජනතාව දැනුවත් කිරීමේ මහ බැංකුවේ පුවත්පත් නිවේදන මා දැක තිබෙනවා. බැංකුවලට වඩා ඉහළ පොලියක් ගෙවන බැවින් මහජනයා මේවායේ මුදල් තැන්පත් කිරීමට පෙලඹෙනවා. වැඩි පොලියක් ගැනීමට ගොස් අවසානයේ තැන්පත් මුදලත් අහිමිවෙනවා. නිසිපරිදි අරමුදල් කලමනාකරණය නොකිරීම මේ මූල්‍ය සමාගම්වල කඩාවැටීමට මූලික හේතුවයි. මූල්‍ය සමාගම්වල තැන්පතු මුදල්වල අවදානම බැංකුවලට සාපේක්ෂව ඉතා ඉහළයි. එබැවින් ජනතාවද මේ සම්බන්ධව දැනුවත්වීම අවශ්‍යයි.

:       2       1

Bamunuarachchi Friday, 19 June 2020 11:16 AM

රජය 4% පොලියට මුදල් ණයට දෙන විට තැන්පත් කරුවන් රජයේ බැංකුවලින් මුදල් අදින විට මේවා ඉබේම වැටෙනවා. බස්කාරයින්ට අලුතෙන් බස්ගන්න දෙන්න කවුද කැමති 2% පොලියට මුදල් තැන්පත් කරන්න.

:       0       2

sena Saturday, 20 June 2020 05:48 AM

ඇත්තම කිව්වොත්, ලංකාවේ බැංකුවලවත්, මූල්‍ය ආයතනවලවත් විශ්වාසයෙන් යුතුව මුදල් තැන්පත් කරන්න බැහැ. හැම ආයතනයකම තම මුදල් අවශ්‍යතාවය අනුව විවිධ ආකර්ශනීය තැන්පත් ක්‍රම හඳුන්වා දෙනවා. තමන්ගේ මුදල් අවශ්‍යතාවය සම්පූර්ණ වෙච්චි ගමන් ප්‍රතිපත්තිය වෙනස් කරලා මුළු ස්කීම් කම කැන්සල් කරනවා. අමාරුවේ වැටෙන්නේ මුළු ජීවිත කාලෙම මහන්සියෙන් ඉතුරු කරගත්ත දේ එම ආයතන වල තැන්පත් කරපු අය..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 03:13 AM

මේ සමාගම්වල අක්‍රමිකතා මර්ධනය කිරීම වැදගත්... එමෙන්ම, මේ සමාගම් හිරවෙන තැනක් තමයි සමහර හොරුන් වාහන ගෙනගොස් හොඳ කොටස් ගලවා ගෙවීගිය කොටස් ඇමිනීම.., වාහනය ඇරියස් වූ විට වාහන ගලවා කොටස් විකුණන හොරුන්ට (මස්කිරීමට විකිණීම) විකිණීම... මෙසේ අයුතු ලෙස සංවිධානාත්මකව කෙරෙනා මෙවැනි දේ නීතියේ රැහැනට හසුකර ගතයුතුයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 352 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16575 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 628 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site