
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ, රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මෙරට රජය ඉදිරිපත් කර ඇති රාමුවෙන්ද ඉස්මතු වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය බවද තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මතය වී තිබේ.
දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එල්ල වන “බරපතල අවදානම්”තත්වයන් ඉස්මතු කරමින් මහ ඇමතිවරයා මෙම ලිපිය අගමැතිවරයා වෙත යොමුකර ඇති අතර එම ලිපිය මගින් ඔහු පෙන්වාදී ඇත්තේ මෙරට දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සැබැවින්ම විසඳන ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් විය යුතු බවයි.
වාර්ගික සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළාත්වලට බලය බෙදී යන ෆෙඩරල් ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් එල්ල කළ යුතු බවද ස්ටාලින් මහතා යැවූ ලිපියේ සඳහන් වේ.
එවැනි මැදිහත්වීමකින් කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව ගන්නා උත්සාහයට නව වටිනාකමක් එක් කෙරෙනු ඇති බවද එහි දැක්වේ.
COMMENTS