IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උණුසුමේ අගය දැනෙන එකම පරිසරය

2016-03-07-ent-56

2016-03-07-ent-51

 

2016-03-07-ent-57ඔබ සංචාරයක නිරත වන්නේ නම් ඔබට ඒ සඳහා දෙස්විදෙස් තෝරාගැනීම් බොහොමයක් තිබේ. නමුත් දේශීයව මෙම නිවාඩු කාලය ගත කිරීමට අදහස් කරන්නේ නම් ඊට යෝග්‍යතම ස්ථානයක් ලෙස සුන්දර නුවර එළිය හඳුන්වා දිය හැකිය. ඊට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ වසරක් පාසා නුවරඑළියේ පැවැත්වෙන වසන්ත සැණකෙළියයි.

 

නුවර එළිය

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ නොමද අවධානයට පාත්‍රවන නුවර එළිය නගරය සැමුවෙල් බේකර් විසින් සොයාගත් බව කියැවේ. නුවර එළිය මුහුදු මට්ටමේ සිට අඩි 6128 ක් ඉහළින් පිහිටා තිබේ. නුවරඑළියේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 11-20 දක්වා පරාසයක වෙනස් වෙමින් පවතින අතර, එහි වාර්තා වී තිබෙන අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.4 කි. වාර්තා වී තිබෙන උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.7 කි. මාසික වර්ෂාපතනය මිලිමීටර් 70-225 අතර අගයක පවතී. උපරිම වර්ෂාපතනය ඔක්තෝබර් කාලසීමාවේදීත්, අවම වර්ෂාපතනය මාර්තු මාසයේදීත් වාර්තා වේ.

 

අන්ත දෙකක්

නුවර එළිය යැයි කියූ පමණින් අප මතකයට නැගෙන්නේ පුංචි එංගලන්තය යන වදනයි. පුංචි එංගලන්තයක සුන්දර නිස්කංලක සීත පරිසරය නුවරඑළියේදී විඳගත හැකිය. එමෙන්ම නාගරික පරිසරයක සවස් කාලයේ පවතින අතිශය කාර්යබහුල වටපිටාවක්ද ක්ෂණයකින් නුවර එළිය නගරයෙන් දිස්වේ. විවිධ කඩ කාමර, හෝටල් මෙන්ම පදික වෙළෙන්දන්ගෙන් ගහන මංමාවත් එක් අවස්ථාවකදී ඔබගේ නිදහසට බාධා කිරීමක් විය හැකිය. නමුත් නුවර එළිය නගරය ආසන්නයේ පිහිටි වික්ටෝරියා උද්භිද උද්‍යානය, නුවර එළිය ගොල්ෆ් පිටිය මෙන්ම ග්‍රෙගරි වැව ආදී ස්ථාන එම හැඟීමෙන් ක්ෂණයකින් ඔබව මුදවාගනු ඇත.

 

වික්ටෝරියා උද්‍යානය

නුවර එළියට යන බොහෝදෙනෙකුගේ නෙත් ඇදගන්නා ස්ථානයක් වන්නේ නුවර එළිය වික්ටෝරියා උද්භිද උද්‍යානයයි. 2008 වසරේ නැවත වරක් සංවර්ධනය කරන ලද වික්ටෝරියා උද්‍යානය තුළ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පමණක් දැකිය හැකි අලංකාර මල් වර්ග බොහෝ ප්‍රමාණයක් දැකගැනීමේ අවස්ථාව හිමිවෙයි.

 

2016-03-07-ent-53

සඳතැන්න

නුවරඑළියේ චාරිකාවකට එක්වන ඔබට නුවරඑළියේ නැරඹීමට ඇති අලුත්ම ස්ථානය සඳතැන්නයි (Moon's Plains). මෙය මීට වසරකට පමණ ඉහතදී සොයාගෙන තිබේ. පුංචි ලෝකාන්තයත්, ගෝනුන්, මුවන් හා විවිධ ශාක පිරි පරිසරයත් මෙහිදී ඔබට නැරඹිය හැකිය. එමෙන්ම තෙත් කලාපය හා වියළි කලාපය එකවර මෙහි සිට පැහැදිලිව නැරඹිය හැක. මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක ඉහළින් තිබෙන මෙම ස්ථානය නුවර එළිය නගරයේ සිට කිලෝමීටර් 12 ක් එපිටින් පිහිටා තිබේ.

තණ පිට්ටනි රාශියකින් මෙම ප්‍රදේශය සමන්විත අතර, එහිදී අංශක 360 ක කෝණයකින් පරිසරය අත්විඳීමේ අවස්ථාව සංචාරක ඔබට හිමිවෙයි. සඳතැන්නට පිවිසීම සඳහා නුවරඑළියේ පිහිටි බීජ නිෂ්පාදන ගොවිපොළට යා යුතුය. එහිදී ඇතුළුවීමේ ගාස්තුව වශයෙන් එක් අයෙකුට රුපියල් 50 ක ටිකට් පතක් ලබාගත යුතුය. එමෙන්ම සංචාරය සඳහා එහි පවතින සෆාරි රථයක් රුපියල් 2000 ක මිලකට ලබාගත යුතුය. මෙම සෆාරි රියෙන් ඔබව පැයක කාලයක් සඳතැන්නේ සංචාරයක රැගෙන යනු ඇත.

සඳතැන්න නුවරඑළියේ පිහිටි ඉහළම ස්ථානයක් වන අතර, එම ස්ථානයට සඳ එළිය පතිත වූ පසු ඉතා අලංකාර දර්ශනයක් දැකගත බැවින් එය සඳතැන්න නමින් හඳුන්වන බව පැවසේ. පිදුරුතලාගල, කිකිලියාන, ග්‍රේට් වෙස්ටර්න්, කොනිකල්, කිරිගල්පොත්ත, තොටුපොළ, හක්ගල හා නමුනුකුළ යන ශ්‍රී ලංකාවේ උසම කඳු නැරඹීමේ අවස්ථාවද සඳතැන්නේදී ඔබට හිමිවෙයි.

 

ග්‍රෙගරි වැව

නුවරඑළියේ අනන්‍යතාව ග්‍රෙගරි වැවයි. 1872 – 1877 කාලසීමාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ විලියම් ග්‍රෙගරි විසින් මෙම වැව කරවූ බව සඳහන් වෙයි. නුවර එළිය නගරය වටා දිවෙන නානු ඔයේ ජල කඳ උපයෝගී කරමින් ග්‍රෙගරි වැව නිමවා තිබෙන අතර, එහි වපසරිය හෙක්ටයාර 91.2 කි.

මේ වනවිට එය සංචාරකයන්ගේ නෙත් සිත් පිනවන අයුරින් සකස් කර තිබේ. බෝට්ටු සේවා, කඩසාප්පු මෙන්ම jet ski වැනි විවිධ පහසුකම් ග්‍රෙගරි වැව ඉස්මත්තේ සලසා දී තිබේ.

වසන්ත සමයට ග්‍රෙගරි වැවේ උද්‍යානය රාත්‍රිය වනතුරු විවෘතව තැබුවද, අනෙකුත් දිනවලදී එය රාත්‍රී 7.00 න් පසු වසා තැබෙයි. ග්‍රෙගරි වැවට වාහන ඇතුළත් කරන්නේ නම් පමණක් ඒ සඳහා සුළු මුදලක් අයකරනු අතර, එසේ අය කෙරෙන මුදල් යළි ග්‍රෙගරි වැවේ අංලකාරය සඳහා යොදවන බව සඳහන්ය.

රාත්‍රියේ දල්වා ඇති විදුලි පහන්වල අලෝකයත්, අහසේ නිල් පැහැයත්, වැව් ජලයේ නිල් පැහැයත් එකතු වී ගෙනෙන මනස්කාන්ත දසුන ඔබව වෙනස් මානයක් කරා යොමුකරවනු ඇත.

 

2016-03-07-ent-63Holly Trinity Church

නුවර එළියට පැමිණෙන ඔබ නැරඹිය යුතු තවත් වැදගත් ස්ථානයක් ලෙස Holly Trinity Church දෙව් මැඳුර හඳුන්වාදිය හැකිය. 1899 දී ඉදිකරන ලද මෙම දේවස්ථානය ලංකාවේ ඉපැරණි දෙව් මැඳුරුවලින් එකකි. අලංකාර අයුරින් නිමකරන ලද සොහොන් කොත් මෙන්ම, ලංකාවේ පැරණිම පියානෝවක්ද මෙහිදී දැකගත හැක. මෙය විදුලිය භාවිතයෙන් තොරව ක්‍රියාත්මක වන අතර, මේ ආකාරයේ පියානෝ ශ්‍රී ලංකාවට පවතින්නේ දෙකකි. එයින් භාවිතයට ගැනෙන්නේ මෙම දේවස්ථානයේ පවතින පියානෝව බවද පැවසේ.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය කළ වික්ටෝරියා එළිසබෙත් රැජින විසින් පිරිනමන ලද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කිරීටයේ ලාංඡනය සහිත ජනේල වීදුරුවක්ද මෙම දේවස්ථානයේදී දැකගත හැක.

 

කපිතාන් තෝමස් විලියම් රොජර්ස් සොහොන් කොත

ලංකාවේ අලි ඇතුන් 1500 ක් පමණ සිය විනෝදය තකා මරා දැමූ බව කියැවෙන කපිතාන් තෝමස් විලියම් රොජර්ස්ගේ සොහොනද නුවර එළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම සොහොනට වරින් වර අකුණු කොටන බවටද මතයක් පවතී. කපිතාන් තෝමස් විසින් එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සිටි සුදු ඇතෙකු මරා දැමූ බවත්, එයින් පසුව ටික දිනකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. හෝර්ටන්තැන්නේ සිටි අලින් වඳවී යාමට ප්‍රධාන හේතුව මෙම පුද්ගලයාගේ හිතුවක්කාරී දඩයම් රටාව බව පැවසෙන අතර, එක් අවස්ථාවකදී ඔහු සිය දඩයම් කණ්ඩායම සමග අලි ඇතුන් 300 කට අධික ප්‍රමාණයක් පමණ ඝාතනය කළ බවද සඳහන් වෙයි. 1834 වසරේදී ඔහු බදුල්ල ප්‍රදේශයේ ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයෙකු වශයෙන් මෙන්ම විනිශ්චයකරුවෙකු ලෙසද කටයුතු කර ඇත.

 

අඹේවෙල නවසීලන්ත ගොවිපළ

නුවරඑළියේ සංචාරය කරන බොහෝ පිරිසකගේ අවධානය දිනාගන්නා තවත් ස්ථානයක් වන්නේ අඹේවෙල ගොවිපළයි. මෙය නවසීලන්ත ගොවිපළ යනුවෙන්ද හැඳින්වේ. ගවයන්, හාවුන් සහ එළුවන්ගෙන් ගහන මෙම ගොවිපළ තුළ චීස් නිෂ්පාදනාගාරයක්ද පිහිටා ඇත. කිරි දෙනුන්ගෙන් යන්ත්‍රානුසාරයෙන් කිරි දෙවීම ආදී බොහෝ දේ මෙම ගොවිපොළ තුළින් දැකගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවෙයි. ඒ සඳහා නුවර එළිය - අවිස්සාවේල්ල මාර්ගයේ මද දුරක් ගමන් කළ යුතු අතර, එහිදී සුන්දර පරිසරයක් මැදින් නවසීලන්ත ගොවිපළ වෙත ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙයි. එසේම නැවුම් එළකිරි මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට හා ඒවායේ රස බැලීමට නවසීලන්ත ගොවිපළෙන් සංචාරකයන් වෙත අවසර ලබාදී තිබේ.

 

2016-03-07-ent-59නුවර එළිය හා ස්ට්‍රෝබෙරි

නුවර එළිය හා ස්ට්‍රෝබෙරි යනු එකිනෙකට සමීපව සම්බන්ධිත වචන දෙකකි. නුවරඑළියේ යන බොහෝ පිරිසක් ස්ට්‍රෝබෙරි රස බැලීමට අමතක නොකරන අතර, පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් නඩත්තු කරන ස්ට්‍රෝබෙරි වතු කිහිපයක්ද එහිදී දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් ස්ට්‍රෝබෙරි වගාවන් සියැසින් දැක නොමැති අතර, එම අවස්ථාව උදාකර ගනිමින් ස්ට්‍රෝබෙරි වත්තකට ගොස් නැවුම් ස්ට්‍රෝබෙරි රස බැලීමටද සංචාරකයන් සඳහා අවස්ථාව උදාවී පවතී.

 

වසන්ත සැණකෙළිය

සුපුරුදු පරිදි මෙවරද නුවර එළිය වසන්ත සැණකෙළිය පැවැත්වීම සඳහා නුවර එළිය ලහිලහියේ සූදානම් වන අයුරු අප කළ සංචාරයේදී දැකගත හැකිවිය. තුරඟ තරග, මෝටර් රථ තරග මෙන්ම විවිධ අංගවලින් විචිත්‍රවත් සැණකෙළියක් මෙවරද සංචාරකයන්ට දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බව අපේ විශ්වාසයයි.

කෙසේ වෙතත් මෙම කාලසීමාව සාමාන්‍යයෙන් නුවරඑළියේ සංචාරය කරනවිට තරමක් වියදම් අධික කාලසීමාවකි. ඒ බොහෝ පිරිස් නුවර එළියට ඇදී ඒමත්, ඒ හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් මිල ගණන් ඉහළ යාමත් නිසාය. මෙම වසන්ත සැණකෙළියේදී නුවරඑළියේ සංචාරය කිරීමට සූදානම් ඔබ කල්තියා නවාතැන්පළක් වෙන්කර ගැනීමෙන් මතුවන අපහසුතා බොහොමයක් මගහරවා ගත හැකි වනු ඇත.

 

2016-03-07-ent-52

2016-03-07-ent-55
2016-03-07-ent-58
2016-03-07-ent-60
2016-03-07-ent-61
2016-03-07-ent-62
2016-03-07-ent-64
2016-03-07-ent-65

 



අදහස් (0)

උණුසුමේ අගය දැනෙන එකම පරිසරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 643 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site