(ඩයනා උදයංගනී)
 
සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යය දෙමාපිය සංගමය ආරම්භ කර ඇති උපවාසයට සමාන්තරව හෙට (9) උදෑසන 7.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ දන්ත ශල්‍ය  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
රජය මගින් සයිටම් ගැටලූව සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දී දෙමාපියන්ගේ උපවාසය අවසන් කිරීමට කටයුතු කරන තුරුම මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසීය.
 
රටපුරා සිටින දන්ත වෛද්‍යවරුන් හා විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනයට එක්වන බවත්, ඔවුන් බාහිර රෝගී අංශ සේවා, සායනික කටයුතු සහ මුඛ හා හණු ආශ්‍රිත ශල්‍යකර්මවලින් ද ඉවත් වී අත්‍යාවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
 
ඔහු මේ බව පැවසුවේ වෛද්‍ය පීඨ දෙමාපියන්ගේ උපවාසය පවත්වාගෙන යන ස්ථානයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.