සුජිත් හේවාජුලිගේෙ

ඇමැතිවරුන්ට ඕන ඕන විදියට කැබිනට් සංශෝධන කළ නොහැකි යැයි රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකකට පමණක් යැයි කී රාජිත සේනාරත්න මහතා ඉන්පසුව එම ඇමැති ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතා පත්කරන බවද කීය.

රාජිත සේනාරත්න මහතා එහිදී මෙසේද කීවේය.

මෙම ඇමැති පදවියට කෙළින් තීන්දු ගන්නා දක්‍ෂයෙක් අවශ්‍යයි. ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නැහැ. ෆොන්සේකා මහත්තයා මේ තනතුරට පත් කරනවාට පොලිසියේ ඉහළ නිලධාරින් අකමැති වුණාට පහළ නිලධාරින් කැමැතියි. සරත් ෆොන්සේකා කියන්නේ හොඳ රණවිරුවෙක්.

රණවිරුවන් ගැන මහ ඉහළින් කතා කරන අය ඒක පිළිගන්න  ඕනෑ. මිනී මරපු, කොල්ලකෑම් කරපු අයත් අද රණවිරුවන් ලෙස නම් කරලා තියෙනවා.

‘‘ඇමැති ධුර සදාකාලික නැහැ. දෙපැත්තේ කකුල් දෙක තබාගෙන ඉන්න අය කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතුයි. ඇමැතිවරුන්ට අවශ්‍ය විදියට කැබිනට් මණ්ඩල හදන්න බැහැ. පක්‍ෂවල තීන්දු නොව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කර සුදුසු තීරණ ගත යුතුයි.

කැබිනට් සංශෝධනය කොමඩියක් යැයි හිටපු ජනාධිපතිවරයා කියලා තිබුණා. නමුත් එදා එතුමන්ලා කැබිනට් සංශෝධන කළේ ඇමැතිවරුන් මට්ටු කිරීමටයි.

මේ කැබිනට් සංශෝධනය ගැන යම්යම් ඇමැතිවරුන් අදහස් ප‍්‍රකාශ කරලා තියෙනවා දැක්කා. ඒ අය බලාපොරොත්තු වුණ අමාත්‍යාංශ නොලැබුණාම එහෙම කතා කියනවා. ඇමැතිවරුන්ට  ඕන විදියට කැබිනට් සංශෝධන කරන්න බැහැ යැයි ද ඇමැතිවරයා කීවේය.