(උපුල් තම්මිට)  

විල්පත්තු වනාන්තරය තුළ බෞද්ධ ශිෂ්ඨාචාරයට අයත් නටඹුන් රැසක් ඇතත් මේවනවිට අනාවරණය වී ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි.මල්වතුඔය ආසන්නයේ මෙවැනි පුදබිම් පැවතීමද විශේෂත්වයකි.

වවුනියාව දිස්ත්‍රික්කයට අයත් සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොන්ගරායන්කුලම්  ලෙස හැදින්වෙන මෙම අපුරූ පුදබිම තන්තිරිමලයට උතුරින් පිහිටි දෙමටමල්ගම හරහා කිලෝමීටර හයක් පමණ මල්වතුඔය හරහා මහවනමැද ගමන්කිරීමෙන් අනතුරුව මෙම පුදබිමට ළඟා වියහැකිය .

මීටර් 200 ක පමණ උස කදුමුදුනක් මත සුන්දර ගල්තලාවක් මත පිහිටි මෙම පුදබිමේ සියලුම බෞද්ධ පුරාවස්තු නිධන් සොරුන් විසින් විනාශයට පත්කර තිබේ.

සමස්ත විල්පත්තු වනාන්තරයම නිරීක්ෂණය කිරීමට මෙම ස්ථානයේ සිට හැකිවන අතර පසුගිය යුද සමයේදී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම පුදබිම සහිත ගල්තලාව කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

ජනවහරේ සඳහන් වන අන්දමට වසභ රජු හෝ භාතිකාභය රජවරුන් විසින් මෙම පුදබිම ඉදිකර බෞද්ධ ශාසනය වෙත පූජාකර ඇති බවට ඉතිහාසයේ එන වාර්තා වල සඳහන් වෙයි.

ජලය පිරි අලංකාර ගල් පොකුණක් , ශිලා ලේඛන සහිත ගල්ලෙන් රැසක්ද පුදබිමේ දක්නට ඇති අතර චෛත්‍ය කිහිපයක් ඇතුලු වටිනා පුරාවිද්‍යා ස්මාරක රැසක් නිධන් සොරුන් විසින් විනාශයට පත්කර ඇති අතර ගල්තලාව ඇතුලු සමස්ථ පුදබිම පුරාවට තැනතැන ගඩොල් කලුගල් කැබලි විසිරී තිබේ.

පුදබිමට පහළින් කිලෝමීටරයක් පමණ දුරින් ගලායන මල්වතුඔයේ ගල්කුලකද සෙල්ලිපියක් දක්නට ඇති අතර එහි සඳහන් වන්නේ පුදබිමට අවැසි ගඩොල් හා පස් ප්‍රවාහනය කිරීම සදහා මල්වතුඔය හරහා අතීතයේ පාළමක් ඉදිකර තිබූ බවය.

රජරට විශ්ව වද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ආරිය ලගමුව මහතා හා භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ භික්ෂුන් වහන්සේලා එක්ව මීට වසර කිහිපයකට පෙර මෙම ස්ථානයේ ස්ථානීය ගවේශනයක් සිදුකර ඇති අතර ඒ මහතා විසින්ද මෙම කරුණු තහවුරු කරනු ලැබීය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයතුල පිහිටි මෙම අපුරු පුදබිම දෙස් විදෙස් සංචාරකයන් හට දැකබලාගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යාඥයින් සහ පරිසරවේදීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.