(*** රංජන් කස්තුරි)

ජාඇල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරීවලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසීම පැවති ඊයේ (5) පෙරවරුවේ විකුණා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම වාහනය නගර සභාව කුලී පදනම මත ලබාගෙන ලේකම්වරයා ගේ පාවිච්චිය සඳහා ලබා දී තිබුවක් බව ද සඳහන් වේ.
ජාඇල නගර සභාවේ ලේකම්වරයාට ඊයේ දිනයේ ඡන්ද මධ්‍යස්ථාන විසබීජහරණය කටයුතු අධීක්ෂණය කිරීමේ රාජකිරිය පැවරී තිබූ අතර සභාපතිවරයා හදිසියේම තම නිල වාහනය විකිණීම නිසා එම කටයුතු වලට බාධා පැමිණි බවට ඔහු මැතිවරණ කොමිෂන් සභාවට සහ ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ.

ඡන්ද විමසීමට පෙර දින (4) පස්වරුවේ ජාඇල නගර සභාවේ ලේකම්වරයා ඡන්ද මධ්‍යස්ථානවල විෂබීජහරණ කටයුතු අධීක්ෂණය කිරීමට නිල වාහනයේ ගමන් කරමින් සිටිය දී සභාපතිවරයා ඊට බාධා කරමින් නිල රථයේ රියැදුරු මගින් වාහනය අතරමග නතර කළ බව ද ඉන්පසුව රියැදුරු ලේකම්වරයාට වාහනයෙන් බසින ලෙස ඉල්ලීමක් කර වාහනය ගැනුම්කරුවකුට පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති බවද ජාඇල නගර සභාවේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

නගර සභාවේ සේවකයකු සමග පැමිණි ගැනුම්කරු එම වාහනයට නැඟ පරීක්ෂා කිරීම සඳහා ටික දුරක් ධාවනය කළ බවද එම හේතුව නිසා තමාට මහ මඟ රැඳී සිටීමට සිදු වූ බවද එම පැමිණිල්ලේ දැක්වේ.

ලේකම්වරයා භාවිත කළ නිල රථය ජාඇල නගර සභාවේ සභාපතිවරයාගේ සහෝදරයකුට අයත් එකක් වන අතර සභාපතිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 85000ක මාසික කුලී පදනමක් මත නගර සභාවට ලබා දී තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඡන්ද විමසීම දින සභාපතිවරයා හදිසියේ එම වාහනය විකුණා ඇත්තේ වාහනය නගර සභාවට පැවරීමේ ගිවිසුම කඩකර හා සභාවේ අනුමැතිය ලබානොගෙන බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.

ජාඇල නගර සභාවේ ලේකම්වරයා කර ඇති පැමිණිල්ලට අනුව මැතිවරණ කොමිසම ඊයේ (5) දිනයේම එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.