(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 

දින හතරක් පුරාවට මාතර නගරයේ තැන තැන ගොඩ ගැසී ඇති කුණු කසල වලින් කොටුවේගොඩ පොළ භූමියේ තිබෙන කුණු කසල ටොන් පහක ප්‍රමාණයක් ගාල්ල රත්ගම මොන්රොවියාවත්ත කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම මාතර මහ නගර සභාවේ සේවකයෝ අද (09)  කටයුතු කළහ.
 
දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් මාතර ජනතාවගේ පීඩාව අවම කිරීම සදහා ඔහු යටතේ පාලනය වන ගාල්ල රත්ගම මොන්රොවියාවත්ත කසළ ප්‍රති චක්‍රීකරණ මධ්‍යස්ථානයට දිරන කසල ටොන් පහක් පමණක් දිනකට උපකාරයක් ලෙස භාර ගත හැකි බව ඊයේ (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
 
සේවකයින් හා පවතින සම්පත් පහසුකම් අනුව ඊට වඩා වැඩි කසල ටොන් ප්‍රමාණයක් ගබඩා ගත කර නොහැකි බවද ඔහු කීවේය. ඒ අනුව කසළ එකතු කර පුරවන ලද රථයක් මාතර සිට ගාල්ල රත්ගමට පිටත් කර යවන ලදි.එම රථයේ පිරවිය හැකි ප්‍රමාණය කසළ ටොන් පහක් පමණ වන බවද පල්ලියගුරුගේ මහතා කීය.
 
අදාළ රථයේ ඉදිරිපස “මාතර මහ නගර සභාව” ලෙස සදහන් නම වසා එම කුණු ප්‍රවාහනය කිරීමට යොදා ගෙන තිබිණි. නමුත් මෙම ගත් පියවර මාතර නගරය තුළ ඇති වී තිබෙන කුණු කසල අර්බුදය විසදීමට එම කටයුත්ත කිසිදු ආකාරයකින් ප්‍රමාණවත්  නොවේ.
 
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය හමුවේ අද (10) සහ ලබන ඉරිදා (14) මාතර මහජනපොල පැවැත්වීමද නතර කර තිබේ.එම දෙදින පොල වසා තැබෙන බව නාගරික කොමසාරිස්වරය දැන්වීම් මගින් වෙළෙදුන් දැනුවත් කර තිබුණි.මහජන පැවැත්වුවහොත් තවත් කසල ටොන් තුනක පමණ ප්‍රමාණයක් එක් රැස් වන නිසාත් එකතු වී තිබෙන කසල හේතුවෙන් වෙලදුන්ට සිදු වන පීඩාවන් නිසාත් එම තීරණය ගෙන තිබුණේය.දකුණු පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද මහජනපොල වසා දමන ලෙස නියෝගයක් ලබා දී ඇත. දිනකට මාතර නගරය තුල කසල ටොන් තිහක පමණ ප්‍රමාණයක් එක් රැස් වන බව ඔවුහු කියති.
 
ඉකුත් 03 වැනිදා අධිකරණ නියෝගය ලැබීමෙන් පසු සිට මාතර මහ නගර සභාව කසල එකතු කිරීම නතර කල අතර මේ නිසා නගරය තුල තැන තැන කුණු කසල එකතු වී තිබෙන අයුරු දැක ගන්නට ඇත.
 
එම තත්වය මත මුළු නගරයම අප්‍රසන්න වී තිබෙන අතර දැඩි දුර්ගන්ධයක් ද පවතී.ඊට අමතරව කපුටන්,මදුරුවන් හා සුනඛයින්ගේ ගහණය ද වැඩි වීමට පටන් ගෙන තිබේ.මේ පිළිබඳව මාතර නාගරික කොමසාරිස් දීපානි ශාමලි මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල අධිකරණ නියෝගය සංශෝධනය කර සහනයක් ලබා ගැනීම සදහා නීතිමය කටයුතු සිදු කර ගෙන යන බවයි.
 
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුලදිත් මෙම තත්වය පැවතියහොත් මාතර නගරය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වනු ඇති බව නගරවාසී ජනතාව පවසති.මාතර කොටවිල කසල අංගනය විධිමත්ව පවත්වාගෙන නොයෑම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වන බවට කොටවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පොලීසියට පැමිණිලි කර තිබු අතර පසුව කොටවිල පොලීසිය මහජන පීඩා යටතේ මාතර මහ නගර සභාවට විරුද්ධව නඩුවක් ගොනු කළේය.
 
එහි තීන්දුව ඉකුත් 27 වැනි දින ප්‍රකාශයට පත් කරමින් මාස තුනක කාලයක් කොටවිල කසළ අංගනයට කුණු කසල බැහැර කීරිම තහනම් කර තිබේ. ඉන් අනතුරුව සිට මාතර නගරය මෙම කුණු කසල අර්බුදයට මුහුණ පා ඇත.