IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අවුරුදු

කෙටිකතාව


ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙලා.ඒ හා සමානම ප්‍රමාණයක් ඇතුළුවීමට බලාපොරෙත්තුවෙන් මාවත දෙපස දෙපේලියකට පෙළගැසී ඉන්නවා.

" එක අතකට උදෙන් ආපු එකත් හොඳයි 
නැත්නම් දරුවත් වඩාගෙන පාරේ හිටගෙන ඉන්න වෙනවා"   මට හිතුණා.
     
අද සෙනසුරාදා වුණත් වරුවක් හරි වැඩට යන දවසක්.එහෙම ගියානම් ඕටී වැටෙනවා.ඒත් ගිය සතියේ අමාධි ගේ කීම අහන්නේ නැතිව වැඩට ගිය එකේ වාඩුව මුළු සතියේම මගෙන් පිරිමැහුවා.ගිය සතියෙම ආවනම් හොඳයි කියලා හිතෙන්නේ ඉන්න සෙනඟ කන්දරාව දකිනකොටයි.එදා නම් මෙච්චර සෙනඟ ඉන්න නැතිව ඇති.අවුරුදු ළංවෙන්න ළංවෙන්න රෙදි කඩවල සෙනග වැඩී.
පාර්ක් කරගන්න තැනක් නැතිව ඒ පැත්තට මේ පැත්තට පැය බාගයක් විතර වාහනේ එළවනකොට අමාධි හිටියේ තරහෙන්.

" ඒක තමයි මම ගිය සතියේ එමුයි කිව්වේ
වැඩට යනවා එනවා ඇර අවුරුද්දක් ළඟටම ඇවිත් කියන එක දැනෙන්නෙම නැතිව ඇති
කොහෙද පුරුද්දක් තියෙන එකක්යැයි "

" පුරුදු වෙන්න නම් ඔයත් එක්ක හිටපු කාලේ හොඳටම ඇති " 
කියන්න හිතට ආවත් කරබාගෙන හිටියේ අනවශ්‍ය කතා ඕනෑ නැති නිසයි.පන්නිපිටිය අවට ලොකු රෙදි සාප්පු ගණනාවක්ම තිබුණත් අමාධිට ඕනෑ වුණේ මෙහාටම එන්නයි.රටේම ප්‍රසිද්ධ නමක් තියෙන තට්ටු ගණනාවක පැතිරුණු සාප්පු සංකීර්ණය අතුරු සිදුරු නැතිව රෙදිවලින් පුරවලා.ඒ වගේම මිනිස්සුන්ගෙන් පිරිලා.
දරුවෝ වඩාගෙන යන අය, දරුවෝ අතින් ඇදගෙන යන අය,දරුවන්ව මගහැරෙන අය ,මහ හඬින් බෙරිහන් දිදී අඬන දරුවෝ මෙකී නොකී අය අතර වැඩි දෙනා කාන්තාවෝ.ඒ කාන්තාවන් ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන දරුවනුත් කරපින්නගෙන යන පිරිමිත් ඉන්නවා.හරියට මං වගේ.
ඇතුළුවුණු තැන ඉඳලම අමාධිට මෙලෝ සිහියක් නැහැ.අදිනවා බලනවා අඳිනවා ගලවනවා.එකම යුද්ධයක්.පරුවත වගේ කාන්තාවෝ ඉන්න තැනම ඉඳගෙන තමන්ට වඩා පුංචි ඇඳුමක් කොහොම හරි ශරීරයට බස්සවගන්න හදනවා.බැරි තැන ඇඳුම කොතනට හරි වීසි කරනවා.ඒත් පහුබහින්නේ නැහැ.තවත් ඇඳුමකට උත්සාහ කරනවා.හවස් වෙනකොට සේවකයෝ හෙම්බත් වෙනවා ඇති ඇදලා දාපු ඇඳුම් අහුරලාම.
අමාධි පස්සෙන් පුංචි චමත්වත් උස්සගෙන චමත් ගේ බඩු බාහිරාදිය තියෙන බෑගයත් ඔසවගෙන ගාටලාම හොම්බත් වුණු මම අමාධි ගේ කනට කරලා මෙහෙම කිව්වා.

" ඔයාට ඕන එකක් අරගෙන මෙතෙන්ට එන්න 
මම පුතත් එක්ක මෙතන වාඩිවෙලා ඉන්නම්
බිල ගෙවන්න මට කතාකරන්න "

මගේ දිහා ඔලොක්කුවට බැලුව අමාධි

" කොහෙද ?
ෂොපිං ගිහින් පුරුද්දක් තියන එකක් යැයි
ඉස්සර අපේ තාත්තා නම් අම්මත් එක්කම රෙදි තෝරනවා
අම්මට වඩා හොඳට රෙදි තෝරන්න තාත්තට පුළුවන් "
         
ඕවට උත්තර දෙන්න වෙලාව නෙවෙයි ඒ.මම චමත් එක්ක  පඩි පෙළේ කොනක වාඩි වුණා.පඩි පෙළේ යන්තම් යන්න විතරයි ඉඩ තියෙන්නේ.මහන්සියට ඕන කෙනෙක් අහුවුණු තැනක ඉඳගන්නවා.
දවල් වෙන්න වෙන්න රස්නය තවත් වැඩිවුණා.වායු සමීකරණ වැඩ කරනවද කියලා ඔළුව හරවලා බැලුවේ ඉන්නම බැරි පාර.මිනිස්සුන් ගේ දාඩිය ගඳයි  ඇඳුම් වල සුවඳයි එකතු වෙලා ඔළුව කැරකෙනවා වගෙයි.චමත්ටත් ඇතිවෙලා.

" බඩගිනී
යමු ගෙදර  "කියනවා

අමාධි තවම නැහැ.බැරිම තැනයි එයාට කෝල් එකක් ගත්තේ.වැදිලා වැදිලා නැවතුනා.දෙතුන්පාරක්ම උත්සාහ කරනකොට එයා උත්තර දුන්නා.

" තවම ඉවර නැද්ද
පුතාට දැන් ඇතිවෙලා "

" පුතාට නෙවෙයි තාත්තටයි දැන් ඇතිවෙලා ඇත්තේ
ෂොපිං ආවහම ඔහොම තමයි අනේ
මම ඉන්නේ ෆිටෝන් පෝලිමේ
ඇඳලා බලලම ගන්න ඕන
නැත්නම් ගෙදර ගෙනිහින් ආයෙත් දවසක එන්න වෙනවා මාරු කරන්න " අමාධි කියනවා

" මොන ෆිටෝන් ද 
ඇඟට තියලා බලලා අරගෙන එන්න
ඇයි ඔය ගෑනු කට්ටිය ඔතනම ඉඳන් ඇඳලා බලන්නේ "

" ඔයා දන්න තරම තමයි ඔය
පොඩ්ඩක් ඉවසලා ඉන්න
මම ඉක්මනටම එනවා "
අමාධි කෝල් එක කට් කළා

චමත් චුරු චුරු ගානවා .ඒ පාර එතැන තියන මහ විසාල සෙල්ලම් බැකෝ එකක් ඉල්ලනවා.කොහොම හරි යාප්පුවෙන් රාක්කෙක තිබුණු පුංචි බැකෝ එකක් අතට දීලා නලවගත්තා.අවුරදු කටේ සල්ලි ගෝනියක් තිබුණත් මදි.ඊයේ රෑ අමාධි කියපු එක තවම මාව කොනිත්තනවා.

" වැඩ කරන්නේ නම් බැංකුවක
ඒවුණාට කුණු ලෝබයි
කොහෙන් පුරුදු වෙච්ච දේවල්ද මන්දා "

" වැඩ කරන්නේ බැංකුවක වුණාට බැංකුව මගේ නෙවෙයිනේ"
මම කිව්වා
ගස්සගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා මිසක් ආයේ කතාවට ආවේ නැහැ.
යන එන සෙනඟ කන්දරාව දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ ඉස්සර අවුරද්දට ඇඳුම් ගන්න තාත්තත් එක්ක පොළට යන හැටි.
ගොයම් කපල පාගලා කන්න ඉතුරු කරගෙන ඒ වී විකුණලා ගන්න මුදල තාත්තා දෙන්නේ අම්මා අතට.පාසල් නිවාඩුවෙන් පස්සේ එන බදාදා තාත්තා මාවයි මල්ලිවයි බයිසිකලයේ දෙපැත්තේ තියාගෙන පොළට එක්ක යනවා.ඒ යන්න කලින් වුවමනා මුදල අම්මගෙන් ඉල්ලා ගන්නවා.අවුරුද්දට ඕන කරන තුනපහ ටිකත් එක්කම ලොකු කරවල කූරියෙකුත් ගන්න තාත්තා ඊළඟට යන්නේ රෙදි වෙළෙන්දා ළඟට.
මල්ලිටයි මටයි එකම ජාතියේ කොට කලිසම් දෙකකුත් කමිස දෙකකුත් අරගෙන දෙනවා.අම්මට ලොකූ මල් රෙද්දක් ගන්නවා දිග ගවුමකට.තාත්තට ගන්නේ සුදු කමිසෙකුයි කොටු සරමකුයි.අපට මොනතරම් අග හිඟ තිබුණත් අම්ම ගේ අම්මටයි තාත්තටයි චීත්තයක් සරමක් ඒ එක්කම ගන්නවාමයි.දඹුල්ලේ කිරි අම්මට ඒ කියන්නේ තාත්ත ගේ අම්මට රෙදි හැට්ට මහගෙන යන්නේ අපේ අම්මා.

" ඔය ගමන්ම අපේ අම්මලටත් මොනවා හරි ගන්න"
මම නැවත කෝල් කරලා අමාධිට කිව්වා

" ඔයාට පිස්සුද?
මේ සෙනඟ අස්සේ අම්මලට ගැළපෙන ඇඳුම් හොයන්න පුළුවන්ද 
අවුරුදු ඉවර වුණහම සෙනඟ අඩු වෙනවනේ 
එතකොට ළඟ කඩේකින් මොනවා හරි ගනිමු
කොහොමත් අපි මේ හදිස්සියේ ඔයාලගේ ගමේ යන්නේ නැහැනේ "

" එහෙම නම් මල්ලිගේ කෙල්ලෝ දෙන්නට ගැළපෙන ගවුම් දෙකක් ගන්න
චමත් ගේ වයසෙමනේ "

" මම මේ අපේ නංගිගේ දරුවන්ට ඇඳුම් හොයනවා
තවම ඒවා වත් හොයාගන්න බැරි වුණා "
කියූ අමාධි ෆෝන් එක කට් කළා.

අන්තිමට අමාධි රෙදි පුරවපු බෑග් දෙක තුනක් ඇදගෙන පහළට එනකොට හතරත් පහුවෙලා.වෙහෙසටම චමත්ට මගේ උරහිසේම නින්ද ගිහිල්ලා.මම විතරක් නෙවෙයි නිදි දරුවන් කරපින්නගෙන ඇවිදින තාත්තලා කීපදෙනෙක්ම තව හිටියා.දවල්ට කෑවේ නැති නිසා මගින්ම  කාලා ආවත් චමත් නම් බත් කටක්වත් කෑවේ නැහැ.ඒ තරමටම දරුවා හෙම්බත් වෙළා.ගෙදර ඇවිත් ඇඟ සෝදලා කිරි එකක් බීපු පාර නැගිට්ටේ පහුවදා උදේ.අපි දෙන්නත් ගෙනාපු පාන් ගෙඩිය ජෑම් ගාගෙන කාලා ඇඳට වැටුණා.
ඉරිදා උදේම ගෙදර වැඩ ඉවර කරලා අමාධි බැස්සේ ඇඳුම් ඇඳලා බලන වැඩේට.ඇඳලා බලලා ගෙනාවත් සමහර ඇඳුම් හිරයි.සමහර ඒවයේ පාට ගැළපෙන්නේ නැතිලු.ගෙනාපු සෙරෙප්පු වලට කකුල කැපෙනවලු.ඇවිදිනකොට ලිස්සනවලු. ලෙඩ ගොඩයි.අමාධි ගේ කල්පනාව මාරු කරන්න යන්න.

" ඔයා තනියම ගිහින් ඕනෑ එකක් කරගෙන එන්න
නැත්නම් ඔහොමම අඳින්න
මායි පුතයි නම් ආයේ ඒ පැත්ත පළාතේ යන්නේ නැහැ"

" ගොඩයෝ කවද ගියපු සාප්පුද "

අමාධි තමන්ටම කියාගත්තත් මට ඒක හොඳට ඇහුණා.ඒත් ඕකෙ එල්ලිලා දවස විනාශ කරගැනීමේ අදහසක් මගේ තිබුණේ නැහැ.
ඇඳ උඩ ගොඩගහලා තිබුණු ඇඳුම් දැක්කම ඒ ඔක්කොම අමාධිට නෙවෙයි කියලා තේරුණා.අමාධි ගේ අම්මට තාත්තට නංගිට නෑනට ඒගොල්ලන්ගේ දරුවන්ට ඇඳුම් ගෙනත් තිබුණු බව බිල දැක්කමත් තේරුණා.ඒත් මම නොතේරුණා වගේ හිටියා.කොහොමත් අවුරද්දට නෑදෑයින්ට ඇඳුමක් කැඩුමක් දීම යුතුකමක් බව මමත් දන්නවා.ඒත් ඒක එක පසෙකට සීමා වීමයි කනගාටු.
නැකැත් යෙදිලා තිබුණේ පාන්දරමයි.කිරිබත් කෑවහම දැනෙන නිදිමතයි වැඩිය කෑවහම ඇතිවන බුදිමතයි දෙක එකට එකතුවෙලා ඇස් පියවෙනවා.මට ඕනෑ වුණේ ඇඳට වෙලා හොඳ නින්දක් නිදාගන්න.මේ වගේ නිවාඩුවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ.ඒත් අමාධි ලෑස්ති වෙන්නේ ඒගොල්ලන් ගේ ගෙදර යන්න.පන්නිපිටියේ ඉඳලා නුගේගොඩට තියෙන්නේ ටික දුරක් වුණාට අවුරුදු නැකැත්වලින් පස්සේ පාරේ වාහන පිරෙනවා.මම කැමතිම නැහැ මේ වගේ දවස් වලට වාහන එළවන්න.චමත්ව අන්දවාගෙන අමාධි එළියට බැස්සේ අතින් කටින් බඩු මලු එල්ලගෙන.
 
" අපේ ගෙදර ගිහින් එන්න නම් මාසයක් කන්කෙඳිරි ගාන්න ඕනෑ"
මට හිතුණා.
        
අපි යනකොටත් අමාධිලා ගේ මිදුලේ වාහන හතරක් පහක්ම නවත්තලා තිබුණා.අයියලා නංගිලා කලින්ම ඇවිත් වගේ.

" ඕක තමයි ටිකක් කලින් එමු කිව්වේ
අම්මා අහයි දැන්ද එන්නේ කියලා "
අමාධි බැස්සේ මට රවාගෙන.

අපි ගෙට ගොඩවන කොටත් වැරන්ඩා එකේ බෝතල් පාටිය පටන්ගෙන.මට ඔය වැඩ අල්ලන්නේ නැති නිසයි මෙහෙ එන්න අකමැති .තාත්තලා පුතාලා බෑනලා එකට බොනවා .අම්මලා දූලා බයිට් හදනවා.ඉස්සර අපේ තාත්තා මඟුල් ගෙදරකදි පොඩ්ඩක් බිව්වත් බොන්නේ අපිට නොපෙනෙන්න හැංගිලා.ඕවා කිව්වොත් අමාධි කියයි

" ගොඩයන්ට කොහොමත් ඕවා පුරදු නැහැනේ කියලා "

පැත්තකට වෙලා ඉන්න එක හොඳ නැති නිසා වීදුරුවකට කොකා කෝලා ටිකක් දාගෙන මමත් එතනින්ම ඉඳගත්තා.එතන මාතෘකාව වුණේ මට අරහංම මාතෘකාවක් වන දේශපාලනය.වෙරි මත ඉහට ගහනකොට මාතෘකාවේ උණුසුමත් ටික ටික  වැඩි වුණා.හෙමිහිට එතැනින් නැගිටපු මම ළඟ තිබුණු පරණ පත්තරයකුත් අරගෙන ජනේලයක් ළඟ වාඩි වුණේ පත්තරය කියවන මුවාවෙන් .කොහොමත් අමාධි ගේ තාත්තට මාව  අල්ලන්නේ නැහැ.අමාධි ගේ බලකිරීමට ඉඩ දුන්නා මිසක් තාත්තා කැමති වුණේ නැහැ අපේ කසාදෙට.
මට අමාධිව මුලින්ම මුණගැසුණේ බැංකුවෙන් ගිය ට්‍රිප් එකකදි.අමාධි ඇවිත් හිටියේ අපේ බ්‍රාන්ච්  එකේම වැඩ කරන නිරූපා එක්ක.ඒ දෙන්නා පාසැල් මිතුරියෝ.ඒ කාලේ අපේ සෙක්ෂන් එකේ තනිකඩයකුට හිටියේ මම විතරයි.කැම්පස් එකෙන් අවුට් වෙනකනුත් මට කෙල්ලෙක් හිටියේ නැහැ.මට එහෙම ඕනෑකමක් තිබුණෙත් නැහැ.ඒ නිසාම බැංකුවේ අය තමන්ගේ වගකීමක් කරගත්තා මට කෙල්ලෙක් හොයලා දෙන එක.මට පස්සේ හිතුණ විදියට නිරූපා මං ගැනම ඉලක්ක කරලා තමයි අමාධිව එක්කගෙන ඇවිත් තිබුණේ.
ඇත්තටම අමාධි හරිම ලස්සනයි.දැක්ක කෙනෙකුට ආයේ හැරිලා බලන්න හිතෙන ලස්සනක් ඒක.ඒත් එයා ඇඳලා කරලා ඇවිත් තිබුණු හැටියට නම් මට හිතුණේ එයා මටනම් කැමති වෙන එකක් නැහැ කියලයි.එදා වචනයක් දෙකක් කතාකරලා දැන හඳුනාගත්තත් පස්සෙ දවසක නිරූපා එයාගේ ගෙදර පාටියක් ලෑස්ති කළේ අපි දෙන්නට කතාබහ කරන්න ඉඩක් සලස්සන්නමයි.
ඒ පාටියෙන් පස්සේ අපි දෙන්නා නිතර ෆෝන් එකෙන් කතාබහ කළා.පස්සේ තමයි ඒක ආදරයකට පෙරළුණේ.අපේ අදහස්වල නොගැළපීම ඒ දවස්වල නම් දැනුණේ නැහැ.දැනුණේ නැහැ කියනවට වඩා අමාධි එයාගේ අදහස් එළියට දැම්මේ නැහැ.
අමාධි වැඩකළේ එයාගේ තත්තා දැන හඳුනන ප්‍රයිවට් හොස්පිට්ල් එකක  රිසෙප්ෂනිස්ට් විදියට.පවුලෙන්ම බලපෑව ඉංග්‍රීසි හුරුව එයාට ඒකට උදව් වෙලා තිබුණා.ප්‍රේම සම්බන්ධතා කීපයක්ම බිඳවැටිලා කලකිරීමෙන් හිටපු අමාධි හෙව්වේ විවාහ වෙන්න හොඳ පදනමක්.ඒත් අමාධිගේ තාත්තා නම් මට කැමැත්ත දුන්නෙම නැහැ.ඒකට හේතුව මම ගමෙන් ආ අයකු වීමත් මගේ මවුපියෝ ගොවියෝ වීමත්.
අවුරුදු පාටිය අවසන් වෙලා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා. සෙනසුරාදාට තෙල් ගාන නැකත යෙදිලා තියෙන නිසා මම අමාධිට කතා කළා එදාට අපේ ගෙදර ගිහින් එන්න.

" අය්යෝ එදාට අයියලාගේ ගෙදර රෑ කෑම
තව ටිකක් පහුවෙලාම ගමේ යමු "
අමාධි ගත් කටටම කිව්වා.

අපේ මඟුල් දවසෙත් මගේ අම්මයි ,තාත්තයි,මල්ලී හිටියේ හරියට අමුත්තෝ වගේ.ඒගොල්ලන්ට කරන්න කිසිම දෙයක් ඒ මඟුලේ තිබුණේ නැහැ.ඔක්කොම කෙරුණේ අමාධි ගේ ගෙදර අයට ඕන පිළිවෙලට.හැබැයි වියදම් කළේ මම.ඉඳ හිට ගමේ ගියත් ඒ ගියේ මම තනියම.අමාධී පුතයි ගියේ අවුරුද්දට විතරයි.ඒත් තවම එක රැයක් අමාධි ගමේ ගෙදර ඉඳලා නැහැ.
බඳිනකොටත් ගේ හදන්න ඉඩම මම සල්ලි වලට අරගෙනයි තිබුණේ.අපි බැඳලා පදිංචි වුණේ ඇනෙක්ස් එකක.ඒ වෙනකොටත් මම ලෝන් එකක් ඉල්ලලයි තිබුණේ.ඒක අනුමත වුණු නිසා කෙටි කාලයකින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න පුළුවන් වුණා.ගේ පදිංචි වෙන උත්සවයට තමයි මගේ අම්මයි ,තාත්තයි, මල්ලී, මල්ලි බැඳපු චමරි නංගී වාහනයක් හයර් කරගෙන කාරුණෑගල ඉඳලම ආවේ.එදා රෑ නවතින්න හිතාගෙන ආපු එයාලා ඒ මහ රෑම ආපහු කරුණෑගල යන්න පිටත් වුණේ අමාධි ගේ පිළිගැනීමේ හොඳකම නිසයි.එදායින් පස්සේ මම මොනතරම් එන්න කිව්වත් ඒගොල්ලෝ මොනවා හරි කියලා මග හරිනවා.
හැබැයි මේ ප්‍රශ්න හැම වෙලාවෙම අපි අතරේ තිබුණ ඒවා නෙවෙයි .අමාධියි මායි ඇත්තටම සතුටෙන් අපේ පවුල් ජීවිතය ගතකළා.අමාධි මට හොඳට සැලකුවා.මගේ ගැන හොයලා බැලුවා.මාත් එහෙමයි.අපි දෙන්නා අතර හැම ප්‍රශ්නයකටම මුල අපේ පවුල්.මට අමාධි ගේ පවුල රුස්සන්නේ නැහැ.අමාධිට අපේ පවුල රස්සන්නේ නැහැ
අප්‍රේල් පහුවෙලා මැයි මාසේ පළවෙනිදා කුරුණෑගල යන්න යොදාගත්තේ මගේ තනි කැමැත්තට.එහාට මෙහාට ඇද ඇද ඉඳලා අන්තිමට අමාධි වචනේ ස්ථිර කළේ මම තනියම හරි යනවා කියලා පීරිසි කෝප්පයක් එහෙම බිම දාලා සද්දයක් දැම්මට පස්සෙයි .අම්මලාටයි මල්ලි ගේ පොඩි වුන් දෙන්නටයි ඇඳුම් මොනවාහරි ගන්න යමු කියලා කතා කළහම අමාධි කිව්වේ

 " ඔය යන ගමන් කුරුණැගලින් ගන්න පුළුවන් නේ " කියලයි.

මම තව මොනවත් කතාකරන්න ගියේ නැහැ.කෝප්ප සිද්ධියෙන් පස්සෙ චමත් මං දිහා බලන්නෙත් බයෙන්.
පළවෙනිදා උදෙන්ම පිටත් වුණේ අමාධි පහුවෙනිදා වැඩට යන්නම ඕනෙයි කියපු නිසයි.නැත්නම් මම එදාටත් නිවාඩුවක් අනුමත කරගෙනයි තිබුණේ.අපි කුරුණෑගලට එනකොට නවයට කිට්ටුයි .ටවුමේ තියන අලුත් රෙදි කඩ ගැන මම දන්නේ නැහැ.පරණ පුරුදු කඩයක් ළඟ නවත්තලා රෙදි ගන්න ගියා.ඒකට නම් බොහොම කැමැත්තෙන් අමාධි එකතුවුණා.මම වැඩිය වියදම් කරයි කියලා බයේද කොහෙද.
අමාධි පොඩි එවුන්ට තේරුවේ ලාභම ගවුම් පොඩි දෙකක්.මම කිව්වා අම්මට සාරියක් ගමු කියලා.

" සාරි අරගෙන අම්මා කොහේ අඳින්නද
ගවුම් රෙද්දක් අරගෙන දෙමු
පන්සලට වත් අඳීනේ "

කියූ අමාධී කණපාට රෙද්දක් අම්මට තෝරගත්තා.මම මට ඕන විදියට හොඳම බතික් සරමක් තාත්තට ගත්තා.අමාධි ගේ මූණ කළු වුණේ එයාගේ දෑවැද්දෙන් කොටසක් වියදම් වුණා වගේ.
කලින් දන්වලා තිබුණු නිසා අම්මයි තාත්තයි මග බලාගෙන ඉඳලා තියෙන බව පෙනුණා. මොනවා වුණත් මගේ පුංචි ගේ දකිද්දී ඇතිවෙන්නේ ලැජ්ජාවක් නෙවෙයි.මහා ආදරණීය බවක්.මහගෙදර ජීවත් වුණේ අම්මයි තාත්තයි විතරයි.කුරුණෑගල මහ ඉස්පිරිතාලේ උපස්ථායකයෙකු විදියට වැඩ කරන මල්ලී ,වෙනම ගෙයක් හදාගෙන පාරට කිට්ටුව පදිංචි වෙලා ඉන්නවා.එයා බැඳපු චමරි නංගී ගෙදර ඉඳගෙන කුලියට ඇඳුම් මහනවා.එයාලට ඉන්නේ චමත්ගෙම වයසේ නිවුන් දූලා දෙන්නෙක්.
තේ වලට අම්මා කජු අළුවා හදලා තිබුණා.ඒ වෙනකොට අම්මා හදන කජු අළුවා කෑල්ලක රසත් අමතක වෙලයි තිබුණේ.අමාධි නම් වැඩි කතාබහ නැහැ.අහන දෙයට විතරයි උත්තර දෙන්නේ.අම්මට එය නොවැටහුණේ අපි ආව එක ගැන හිතේ තිබුණු සතුට හින්දයි.
දවල් කෑම මේසයට මම කන්න ආස දේවල් හදන්න අම්මා මහන්සි වෙලා තිබුණා.චමරි නංගී ඇවිත් උයන්න උදව් කරලා ගිහින් තිබුණා.මල්ලිලා ගේ ගෙදරටත් ගොඩවෙලා යමු කියලා මම රහසින් අමාධිට කිව්වත් ,අමාධි කිව්වේ තෑගි අම්මලාටම දීලා යමු.හෙට වැඩට යන්න තියන නිසා පරක්කූ වෙන්න බැහැ කියලයි.
දවල් කෑමෙන් පස්සේ අම්මටයි තාත්තටයි වැඳලා පිටත්වෙන්න හදනකොට අම්මා පාර්සලයක් ගෙනත් අමාධි ගේ අතට දුන්නා

" චමරි දුව අවුරුද්දට සාරියකුයි ගවුමකුයි දෙකක්ම ගෙනත් දුන්නා
සාරි මම කොහේ අඳින්නද
ගිය අවුරුද්දේ චමරි දුව ගෙනත් දුන්නු සාරියත් තවම අල්මාරියේ

දුවට තමයි ඕක ගැළපෙන්නේ "

කිසිම කතාවක් නැතිව සාරිය එළියට අරගෙන බලපු අමාධි ගේ මුහුණ එළිය වැටුණා.

 " ඇත්තමයි
හරිම ලස්සන සාරියක් "

මෙච්චර වෙලා අගුල් වැටිලා තිබුණු අමාධි ගේ කටත් ඇරිලා

අමාධි බෑග් එක ඇරලා සාරිය ඒකට ඔබාගෙන මං දිහා බලලා හිනා වුණා.

ඒත් මගේ මුහුණ නම් ලැජ්ජාවෙන් ඇඹුල් වෙනවා අමාධි නොදකින්න ඇති.



අදහස් (0)

අවුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

අවුරුදු
2025 අප්‍රේල් මස 29 32 0

ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ


රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 552 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 489 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 165 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 495 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 694 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 267 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site