IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


නයිටින්ගේල් කුරුල්ලා

කෙටිකතාව


අධිරාජයාගේ මාලිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විස්මිත නිර්මාණයක්. උද්‍යානයේ පිපෙන්නේ ඉතාම දුර්ලභ මල් වර්ගයි. මේ අතරිනුත් ලස්සනම මල්වල මුදුනේ පුංචි රිදී සීනු සවි කරල තිබුණ නිසා ඒ කන්කලු සීනු නාදය ඇසෙන තාක් කිසිම කෙනකුට මේ මල් දිහා නොබල එතනින් පා තබන්න සිදු වන්නෙ නැහැ. ඔව්. අධිරාජයාගේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම නියම සැලසුමකට අනුවයි සිද්ධ වුණේ. කොහොම උනත් උයන්පල්ලවත් දැනං හිටියේ නෑ මේ උද්‍යානයේ දිග පළල හරියටම කොයි තරම්ද කියලා. ඒ තරම් විශාලයි. කිසිවෙකු මේ උද්‍යානයේ ඇතුළටම ගමන් කරනවා නම් එයාට දැකගන්න පුළුවන් උසට උසේ ගස් වැවුන, ගැඹුරු විල් තියෙන කැලෑවක්. මේ කැලෑව අවසන් වෙන්නේ නීල වර්ණ ගැඹුරු මුුහුදට. ඒක නිසා මේ මුහුදේ ගමන් කරන නැව් අර කලින් කිව්ව ගස්වල අතුවලට යටින් තමා ගමන් කරන්නේ. මෙන්න මේ විශාල ගස් උඩ එක නයිටින්ගේල් කුරුල්ලෙක් එය තමාගේ වාසබවන කරගෙන හිටියා. නයිටින්ගේල් කුරුල්ලගේ නාදය කොයි තරම් ප්‍රීතිමත් ගීතයක්ද කිව්වොත්, මුහුදේ මාළු අල්ලන්න දැල් එළන්න යන කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා ඒ ගීත අහන්න නිතැතින්ම මොහොතක් නතර වෙනවා.


“කොයි තරං ඉමිහිරි නාදයක්ද?“ කියල කියන ධිවරයාට ඊළග මොහොතේදී නයිටින්ගේල් කුරුල්ලගේ සින්දුව අමතක වුණාට ඊට පහුවෙනිදා රෑට දැල් එළන්න යන කොටත් “කොයි තරං ඉමිහරි සංගීතයක්ද?“ කියල කියන්න නං අමතක වෙන්නෙ නැහැ.

ලෝකයේ විවිධ රටවල්වලින් දහස් ගණන් සංචාරයෝ එනවා අපේ අධිරාජයාගේ රටට, ඒ නගරයට. හැම සංචාරකයෙක්ම මේ නගරයේ ඇති විසිතුරු බව ගැන දැඩි ලෙස සතුටු වෙනවා. ඒ වගේම අරුම පුදුම මාලිගාව, විශාල උද්‍යානය දැකක්ම ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. ඒත් ඔවුන්ට අර නයිටින්ගේල් කුරුල්ලගේ ප්‍රීතිමත් ගීතය ඇහුණම ඔවුන් හැමෝම එක ලෙසින්ම කියන්නේ “මේ රටේ තියෙන හොදම දේ“ ඒ ගීතය කියලයි.

මේ සංචාරකයන් ආපහු මව්රට ගියාම එකිනෙකාට නයිටින්ගේල් කුරුල්ලගේ ගිතය ගැන කියනවා. ඒ වගේම දැනුමැති සංචාරකයෝ චීන අධිරාජයා ගැන , එතුමාගේ මාලිගාව, රාජකීය උද්‍යානය ගැන මනරම් සංචාරක සටහන් ලියන කොට ඒ අයට කවදාවත් අමතක නොවෙන එක දෙයක් තමා අපේ නයිටින්ගේල් කුරුල්ලා ගැන ඉහළින්ම වර්ණනා කිරීම. එහෙම ලියපු දේවල් පොත් විදියට මුද්‍රණය වෙලා මුළු ලෝකේ පුරාම බෙදා හැරලත් තියෙනවා. ඒ අතරේ කවියන් අපේ නයිටින්ගේල් කුරුල්ලගේ ගීතය ගැන විශිෂ්ට  කාව්‍ය නිර්මාණ පවා මුද්‍රණයෙන් නිකුත් කරල තියෙනවා.

මේ පොත් බොහොමයක් ලෝකේ පුරාම යනවා වගේම ඒවයින් කීපයක් චීනයටත් එනවා. තවත් පොත් කිහිපයක් අධිරාජයාගේ මාලිගාවටත් ලැබෙනවා. ඉතිං මෙහෙම ලැබෙන පොත්, කියවන අපේ අධිරාජයා එයාගේ රට, මාලිගාව, උද්‍යානය ගැන අනේකවිධ වර්ණනා කරල තියෙන හැටි දැක්කම සතුටින්  කුල්මත් වෙනවා. ඒත් මේ හැම දේටම වඩා වර්ණනා කරල තියෙන්නේ “නයිටින්ගේල් කුරුල්ලා“ ඇරත් මුද්‍රණය කරපු පොතක.

“මේ මොකක්ද... නයිටින්ගේල්“ අධිරාජයා පුදුම වෙනවා. “මේක වෙන්න පුළුවන්ද,. මගේම අධිරාජ්‍යයේ මගේම නගරයේ මගේම රාජකීය උද්‍යානයේ ඉන්න කුරුල්ලෙක් ගැන පිටරැටියෝ මෙච්චර වර්ණනා කරද්දී මං ඒ ගැන දන්නේ නැහැ. මට දැන් ඒ ගැන හොයන්නම වෙනවා“ අධිරාජයා හිතන්න පටන් ගත්තා.

ඉතිං මේ ගැන අහන්න අපේ අධිරාජයා තමන්ගේ වැඩ බලන සාමිවරයා කැඳෙව්වා. තමන්ට වැඩිය පහළ නිලයක ඉන්න කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ උඩගු සාමිතුමා ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ.

“මේ මිනිස්සු කියනව නේ අරුම පුදුම සිංදු කියන නයිටින්ගේල් කුරුල්ලෙක් මගේ උද්‍යානයේ ඉන්නවා කියලා.. ඒ මදිවට මගේ අධිරාජ්‍යෙය් තියෙන වැදගත්ම දේත් ඒ කුරුල්ලලු. ඇයි මේ ගැන මාව දැනුවත් කරල නැත්තේ..?“ අධිරාජයා කෝපයෙන් විමසුවෙිය.

“උතුමානෙණි, ඔය කියන නම මම මීට කලින් අහල නැහැ. ඒ වගේම ඔය නයිටින්ගේල් කාරයා කවදාවත් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ“ අපේ සාමිවරයා උත්තර දෙනවා.

“මම අණ කරනවා අද හවස් වෙනකොට මේ කුරුල්ලා මගේ ඉදිරිපිටට පමුණුවල සින්දු කියවන්න ඕන කියලා. තේරුනාද.. අම්මප මේ ලෝකේ ඉන්න හැම එකාම මට වැඩිය දන්නව නෙව මට තියෙන දේවල් ගැන“ අධිරාජයා අණ නිකුත් කළේය..

“උතුමානෙණි, මා මේ ගැන හාංකවිසියක් නොදන්නවා උනාට ඔය නයිටින්ගේල් ව හොයල මං ඔය හාදයා උතුමන් ළග දන්ගස්සවනවා“ අපේ සාමි වරයා යටහත්ව උත්තර දෙනවා.

කොහෙන් කියන හොයන්නද? සාමිතුමා උඩට දුවනවා. පල්ලේහාට දුවනවා, මාලිගේ හැම කාමරයක් ගානේ කෝරිඩෝවක් ගානේම දුවනවා. ඒත් මේ නයිටින්ගේල් ගැන දන්න කිසිවෙක් එතුමාට හමු වුණේ නැහැ. ඉතිං ඒක නිසා සාමිතුමා ආයිත් අධිරාජයා ගාවට දුවනවා. “අනේ උතුමානෙණි!මේ කාගේ හරි බොරු කතාවක් වෙන්ටැති. එක්කෝ මේ පොත් කාරයෝ හිතින් මවාගත්ත එකක් වෙන්ටැති. නැත්නං මහා රහසක් වෙන්ටැති. සමා අවසර මට කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ උතුමානෙණ්, දනින් වැටී අපේ සාමිතුමා තමන්ගේ විමර්ශනය ගැන අධිරාජයාට තොරතුරු දැනුම් දුන්නා.

“මේ පොත මගේ ආදරණිය මිත්‍රයෙක් වෙන ජපන් අධිරාජයා එවපු පොතක්. ඒක නිසා මේක කොහෙත්ම බොරු ගොතාපු, මඩ  පොතක් වෙන්ඩ බැහැ. ඒක නිසා අද හවස් වෙද්දි මට මේ නයිටින්ගේල් හොයල ගෙනැත් දෙන්න ඕනෑ. නැත්නම් දන්නවා නේ මම අධිරාජයෙක්. මුළු රාජ සභාවෙම ඉන්න උන්ගේ බුරිය යටින් හිල් කරනවා. තේරුනාද? යනවා දැන්“ අපේ අධිරාජයාට බොහොම කේන්ති ගිහින්.

“ගැත්තාට අනුකම්පා කරත්වා උතුමානෙණි“ කියමින් බයේ ගැහි ගැහි සාමිතුමා ආයිත් උඩට දිව්වා, කාමර ගානේ කොරිඩෝ ගානේ දුවන්න ගත්තා. ඒ පාර රජ සභාවෙන් බාගයක්ම සාමිතුමාත් එක්ක දුවන්න ගත්තා, ඇයි ඉතිං කව්ද කැමති බුරියට පහළින් හිලක් විදගන්න.

මේ නයිටින්ගේල් ගැන විශාල වශයෙන් ප්‍රශ්න කරන්න, සාක්කි කැඳවන්න කටයුතු කරල තිබුණා. මුළු ලෝකේම මිනිස්සු දැනගෙන හිටියට තමන්ගෙ රටේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදි මේ ගැන යමක් දන්න කෙනෙක් ඔවුන්ට හමු වුණා. ඒ කුස්සියේ වැඩ කරන දුප්පත් අහිංසක ගැහැනු  ළමයෙක්.

“ආ. අපේ කුරුල්ලා.. මං එයාව හොඳට දන්නවා. ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. හැම හවසකම මම යනවා ලෙඩ වෙලා ඉන්න අපේ අම්මට මේ ඉතිරි  වෙච්චි කෑම ටික දීල එන්න. ඈ ඉන්නේ වෙරළ අයිනේ නේ. කැලේ මැද්දෙන් යන කොට මහන්සි නිසා මම අර උස ගස් තියෙන තැන නවතිනවා. ඔන්න එතකොට තමා මට ඒ සින්දුව ඇහෙන්නේ. ඒක ඇහුවම මගේ ඇහැට කඳුළුත් එනවා. ඒක හරියට අම්මා මාව ඉඹිනවා වගෙයි දැනේන්නේ“ අහිංසක දැරිය කීවාය.

“දරුවා. මං උඹව අද පටන් ජිවිතාන්තය දක්වාම ප්‍රධාන අරක්කැමියා විදියට පත් කරනවා. තව ඕන නම් අධිරජ උතුමා අහර කිස කරන ආකාරයත් බලන්න දෙන්නම්. හැබැයි මං එහෙම කරන්නේ ඔය ළමයා අපි අර රාජ සභාව ඉදිරියේ පමුණුවන්න නියමිත නයිටින්ගේල් කාරයා ගාවට අරගෙන යනව නං විතරයි“ සාමිවරයා දැරියට කරුණාවෙන් පැවසීය.

ඉතිිං මේ කට්ටිය ඔක්කෝම නයිටින්ගේල් කුරුල්ලා හොයාගෙන කැලේට ගියා. ඒ අතරේ රාජ සභාවේ බාගක්ම බයටම කැලේට ගියා. ඒ යන අතරේ කැලේ මැදදි ගවයන් බෙරිහන් දෙන්න ගත්තා.

“ඕහ්.. අන්න ඇහුණද?ඒක තමයි. කොයි තරං බලසම්පන්න කටහඩක්ද පොඩි ඇගක් තිබුණට.. මං හිතන්නේ මට ඇහුනේ නයිටින්ගේල් කුරුල්ලගේ සින්දුව“ එක සභිකයෙක් සතුටෙන් බෙරිහන් දෙන්න ගත්තේය.

“අයියෝ නැ. ඒ හරකෙක් කෑ ගාන්නේ. අපි තව දුර යන්න ඕනෑ“ පත්වීම් ලබන්න නියමිත දැරිය කීවාය.

ඊට පස්සේ පඳුරු අස්සේ ඉදල ගෙම්බෝ කෑ ගාන සද්දේ ඇසිණ.

“පුදුමයි. විස්මයජනකයි. පල්ලියේ සීනුව නාද වෙනවා වගේ මට දැන් ඇහෙනවා“ තවත් සභිකයෙක් කීවෙිය.

“අයියෝ ඒ ගෙම්බෝ බක බක ගාන්නේ.. තව ටික දුරයි“

ඔන්න එතකොටම නයිටින්ගේල් කුරුල්ලා සින්දු කියන සද්දේ ඇහෙන්න ගත්තා.

“අන්න ඒක“ පුංචි ගෑනු ළමයා කිව්වා. “සද්ද කරන්න එපා.. අහගෙන ඉන්න. අර අර ඈත වාඩි වෙලා ඉන්නේ“ ගහක අත්තක වාඩි වෙලා ඉන්න පුංචි අළුපාට කුරුල්ලෙකු දිහාට අත දිගු කරමින් ඇය ඔවුන්ට කුරුල්ලාව පෙන්නුවා.

“මේක වෙන්න පුළුවන්ද?“ සාමිතුමා මොර දෙනවා. “මම කවාදාවත් හිතුවේ නැහැ මෙයා මේ වගෙයි කියල. සමහර විට මේ ඇවිත් ඉන්න වැදගත් රාජ සභිකයෝ ටික දැක්කම මිනිහත් කළු වෙලා යන්න ඇති“ බෝම උඩගුවෙන් ඔහු කියන්න පටන් ගත්තා.

“පුංචි කුරුල්ලෝ.... අපේ ගරු අධිරාජ උත්මයන් වහන්සේට ඔයා කියන සින්දු අහන්න ඕනලු“ පුංචි දැරිවි කුරුල්ලට කිව්වා.

“ නයිටින්ගේල් තව ලස්සනට සිංදුව කියන්න ගත්තා.

“හරියට වීදුරු වලින් හදුපු සීනුවලින් එන මිහිරි නාදය වගෙයි.. අර බලන්න උගේ පුංචි බෙල්ල වේගෙන් ගැහෙන හැටි. මට හරි පුදුමයි අපි මෙයා ගැන මීට කලින් අහල නැති එක ගැන.. කිසිම සැකයක් නෑ මෙයා රාජ සභාවෙදි ලස්සනට සිංදු කියාවි“ සාමිතුමෝ කීහ.

“අධිරාජ උතුමන් වෙනුවෙන් මං ආයිත් ගායන කරන්නද?“ නයිටින්ගේල් සතුටින් ඇහුවා.

“මගේ පුංචි කුරුලු පැටියෝ.. මම තමා ඔයාව උතුමන් ගාවට රැගෙන යන්න එවපු සාමිවරයා. ඔයා අද හවස රාජ සභාවේදි මේ දස්කම් දැක්විය යුතුයි. අපේ උතුමාණන් ඔබගේ මිහිරි නාදය නිසා බොහොම සතුටට පත්වේවි“ සාමිතුමෝ කීහ

“මගේ සින්දු හොඳට කියන්න පුළුවන් මේ කැලේ ඇතුළේදි තමා.“ ඒත් අධිරාජයාගේ කැමැත්ත ඒකනං ඒකට ඉඩ දෙන්න ඕන කියල නයිටින්ගේල් මේ අයත් එක්ක රාජ මාලිගයට යන්න පිටත් වුණා.

මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම මාලිගාව හොඳින් සුදානම් කරල තිබුණා. පිඟන් ගඩොල් බිත්ති, පොළොව රන් පහන් දහස් ගානකින් නිකුත් කරන දීප්තිමත් කිරණ වැදිල දිලිසෙනවා. රිදී සීනු අමුණපු ලස්සන මල් පෝච්චි රාජ මාලිගය ඇතුළටම ගෙනැත් තිබුණා. මාලිගාවේ කොයි තරම් කලබලයක් තිබුණ ද කිව්වොත් කව්රු හරි කතා කරනකම්ම එතැන නොයෙක් විදියට අර පුංචි සීනු අතොරක් නැතිව නාද වෙමින් පැවතුණා.

රාජ සභාව මැද්දෙම සිංහාසනයක් මත අධිරාජයා ආසනාරූඬ වෙලා හිටියා. නයිටින්ගේල් කුරුල්ල වෙනුවෙන් රනින් කළ ආසනයක් සකස් කරල තිබුණා. මුළු රාජසභාවම ඇවිත් හිටියත් අර පුංචි දැරිය රාජසභාවේ දොර පිටුපසින් නවත්තලයි තිබුණේ. සාමිතුමා විසින් නිල වශයෙන් ඇය “රාජකීය තඩිබාන්නා“ විදියට පත් කරල තිබුනා. හොඳින් ඇද පෑළඳගෙන හිටු සියල්ලෝම රජතුමාගේ අනුමැතිය ලැබෙන හිස සෙලවීමේ විධානය ලැබෙන තෙක් නයිටින්ගේල් දිහාම බලාගෙන හිටියා.

අධිරාජයගේ ඇහෙන් කඳුළු කැට කඩා හැලිලා ඒවා කම්මුල් දිගේ ගලා යන විදියටම කුරුල්ලා ලස්සන සින්දුවක් කිව්වා. ඊට පස්සේත් බොහොම මිහිරි සින්දු කිව්වා. ඒකෙන් රජතුමාගේ හදවත හොඳටම මෙළෙක් වුණා. අධිරාජයා කොයි තරං සංවේදි වුණාද කිව්වොත් තමන්ගේ රන් සෙරෙප්පුවක් නයිටින්ගේල් කුරුල්ලගේ බෙල්ලේ එල්ලන්න තරම් හිත් වුණා. තමන්ට මේ වෙනකොටත් ලැබුණ පිළිගැනීම ප්‍රමාණවත් කියල කුරුල්ලා ඒ තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කළා.

“උතුමාණන්ගේ ඇහෙන් කඳුළු ගලා යන හැටි මම දැක්කා. ඉතිං ඊට වඩා තැග්ගක් තවත් නැහැ. අධිරාජයෙකුගේ කඳුළු කියන්නේ බොහොම බලසම්පන්න ආයුධයක්. මට වුවමනා දේ ලැබුණා තවත් දේ ඕන නැහැ“ කිව්ව නයිටින්ගේල් පුදුමාකාර ලස්සනට ආයිත් ගයන්න පටන් ගත්තා.

“මේ වගේ ප්‍රසංගයක් අපි කවදාවත් දැකල නැහැ“ ආදිපාදවරියන් මුමුණන්ට වුණා. නයිටින්ගේල් ගැන තරහක් තිබුණ මේ අය තමන්ගේ කටේ වතුර පුරවන් හිටියේ බැරි වෙලා හරි කව්රු හරි කතා කළොත් ගර් ගර් ගාලා කතා කරන්න. කවාදාවත් සතුටු කරන්න බැරි හැම දෙනාමත් කුරුල්ලගේ සින්දු නිසා සතුටු වුණා. මුළු රාජ සභාවම සතුටට පත් වුණා. ඉතිං හැම දිනකම රාජ සභාවේ පෙනී හිටින්න නයිටින්ගේල්ට සිද්ධ උනා. එයාට වෙනම කුඩුවක්, වෙනම කකුලට ගැට ගහපු පටියක් ඒ පටිය අල්ලගත්ත මිනිස්සු දොළොස් දෙනෙක් ලැබුනා. දවසට දෙවරක් පටියේ දුරට ඇවිදින්නත් ලැබුනා. ඒ ඇවිදින කොට නං ඒ තරං සතුටක් ලබන්න අපේ කුරුල්ලට බැරි උනා.

නගරයේ ඉන්න හැමෝම මේ ගැන කතා උනා. කොටින්ම අන්ත් කෙනා “ගේල්“ කියන්න කලින් කිසිම කෙනෙකුට නයිට් කියල ඉවර කරන්න ලැබුනෙත් නැහැ. කෝම හරි ඌරු මරන්නන් එකොලොස් දෙනෙකුගේ ම දරුවන්ට “නයිටින්ගේල්“ යන නම තියල තිබුනට ඒ කාටවත් සිංදු නං කියන්න බැහැ.

එක දවසක් අපේ අධිරාජයාට පාර්සලයක් ලැබුණා. ඒකේ ලියල තිබුනේ “නයිටින්ගේල් කුරුල්ලා“ කියලයි.

“ආහ්. මේ අපේ කුරුල්ලා ගැන තවත් පොතක් වෙන්ටැති කියල හිතාගෙන පාර්සලේ කඩපු අධිරාජයාට දැක ගන්න පුළුවන් වුණේ, තමන්ගේ ආදරණිය මිත්‍ර ජපන් අධිරාජයා එවපු අරුම පුදුම සෙල්ලං කුරුල්ලෙක්. හරියටම නයිටින්ගේල් කුරුල්ලා වගේමයි. ඒකේ තිබුනා යතුරක් ඒක කරකවල වයින් කරල තිබ්බම හරියටම නයිටින්ගේල් වගේම නැත්නං ඊටත් ලස්සනට සිංදු කියනවා. මේ යකඩ කුරුල්ලගේ බෙල්ලේ මෙන්න මෙහෙම වැකියක් තිබුනා. “චින අධිරාජයාගේ නයිටින්ගේල් හා සම කරන්නේ නම් ජපන් අධිරාජයාගේ නයිටින්ගේල් කුරුල්ලා ඉතා කුඩා දෙයකි“

මාලිගාවේ හිටි හැමෝම යඩක කුරුල්ලා ලස්සනයි කියල කියන්න ගත්තා. අන්තිමේදි මේ පෙට්ටිය අරං ආපු කෙනාට නිල වශයෙන් “රාජකීය ප්‍රධාන නයිටින්ගේල් බලාගන්නා“ වශයෙන් පත් කළා.

“අපි දෙන්නම එකට තියල සින්දු අහමු. ඒක මොන වගේ වේවිද බලමු“ සභිකයෝ යෝජනා කළා. ඉතිං දෙන්නම එකට සින්දු කිව්වා. ඒක එච්චර හොදට තිබුණේ නම් නැහැ. මොකද නියම නයිටින්ගේල් තමන්ගේ හිතට එන සින්දුවක් කිව්වට යකඩ නයිටින්ගේල් එකම සින්දුව කිව්ව නිසා.

“නෑ නෑ මේක අලුත් එක්කෙනාගේ වැරැද්දක් නමෙයි. එයා හරි විදියට තාල තියනවා. මං කියල දුන්න වගේම“ රාජකීය සංගීතඥයා විස්තර කරන්න ගත්තා. එයින් මෙයින් යකඩ කුරුල්ලා තනියම සින්දු කියන්න දැම්මා. නියම නයිටින්ගේල් සින්දු කියනව වගේම එතකොට යකඩ කුරුල්ලා සින්දු කිව්වා. කිසිම වෙහෙසක් නැතිම එක දිගට එකම සින්දුව තුන්සිය තිස් පාරක් ලස්සනට කියන්න මෙයාට පුළුවන් වුණා. ඒත් රාජසභිකයන්ට තවත් ඒක අහන්න ඕන වුණත්, අධිරාජයා කිව්වා දැන් අපි නියම කුරුල්ලාට අවස්ථාව දෙන්න ඕනෑ කියලා. කෝ එයා.. කිසිම කෙනෙක් දන්නෙ නැහැ. අර සින්දුවට වහ වැටුණ වෙලාවේ මේ කුරුල්ලා කොහාට හරි ගිහින්. එයා ඇරල තිබුණ කවුළුවෙන් පියාඹලා ආයිත් තමන්ගේ පුරුදු වනයටම ගියා.

“එයා මෙහෙම යන්න හේතුවක් තියෙන්න එපැයැ“ කියමින් අධිරාජයා උන්නා.

අන්න එතකොට රාජ සභිකයෝ නියම නයිටින්ගේල් ද්‍රෝහියෙක් බවත් කෙළහිගුණ නොදන්න සතෙක් බවටත් දෝස්මුර කිව්වා. ඒත් ඊට වඩා හොඳ කුරුල්ලෙක් අපිට ඉන්න නිසා සතුටු වෙන්න පුළුවන් කියල රජතුමාවත් අස් වස්සන්න මේ අය අමතක කළේ නැහැ. යඩක කුරුල්ලා හැම අතින්ම වටිනවා කියල තමා අන්තිමට තීරණය වුණේ. මොකද එයාගේ මිහිරි සින්දු, ඇඟේ රන් ආලේපය, මැණික්, දියමන්ති නිසා දිලිසෙන ශරිරය, ඒවා නිසා යඩක කුරුල්ලා නියම කුරුල්ලට වඩා වැදගත් බව මේ අය තේරුම් ගත්තා.

“නෝනාවරුණි මහත්වරුණි.. ඔබට දකින්න පුළුවන් නේද සියලු රාජකීය දෙයින් හෝ නියම නයිටින්ගේල් කුරුල්ලාගෙන් බලාපොරෙත්තු විය නොහැකි ස්ථිර යමක් මේ කෘත්‍රිම කුරුල්ලා වෙතින් අපට ලැබෙන බව. මොකද ඒකේ හැම දෙයක්ම පෙර සැලසුමකට අනුවයි වෙන්නේ. ඒක නිසා අතරමග වෙනස් කම් දකින්න ලැබෙන්නේ නැහැ. පරිපුර්ණතාව කියන්නේ මේකට තමා. හරියට අධිරාජයෙකුගේ ජිවිතය වගේ. හෙට මම මෙය මහජන ප්‍රදර්ශනය සඳහා තබන්න නියම කරනවා.‘ අධිරාජයා මෙහෙම කියල පහු වෙනිදා ඒ ප්‍රසංගය තිබුණම හැම මනුස්සයටම පුදුමෙන් “ඕහ්“ කිය කිය අත් දිගු කරමින් තම සතුට පළ කළා. ඒත් අර දුප්පත ධීවරයට විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුණා. හැමදේම හොඳයි.. සින්දුවත් හොඳයි.. ඒත් ඒත් නියම නයිටින්ගේල් කුරුල්ලා ගායන  කොට තියෙන යම් දෙයක් මේ කුරුල්ලා තුළ නැති බව ඔහුට තේරුණා. ඒත් ඒ මොකක්ද කියල නිච්චියටම කියන්න ඒ අසරණයට පුළුවන් කමක් තිබුණේ නැහැ.

නියම කුරුල්ලා තම භූමියෙන් පලා ගොස් තිබු හෙයින් එතැන, ඒ රන් ආසනය යඩක කුරුල්ලට නිතැතින්ම හිමි වුණා. පසුව ඌ රජතුමාගේ සයනාගාරයේ පසෙකින් තබා තිබූ අතර, නිල වශයෙන් “අධිරාජයා සැතැප්පවීමේ රාජකීය ගායකයා“ යන ගෞරව නාමය ලබා දී තිබුණා.

රාජකීය සංගීතඥයා විසින් වෙළුම් විසි පහකින් යුත් ග්‍රන්ථයක් පළ කරමින් යකඩ කුරුල්ලා වර්ණනාවට ලක් කර තිබුණා. කෝටි ගානක් සංයුක්ත චීන අකුරු තිබුණු මේ පොත කවුරුවත් හරියට කියවල නැති වුණත් බුරියට පහළින් සිදුරු විඳගැනීමට ඇති නොකැමැත්ත නිසාම ඒ ග්‍රන්ථය මහතා වටිනා එකක් බවට අදහස් පළ කරන්නට කිසිවෙකුත් පැකිළුණේ නැහැ.

යකඩ කුරුල්ලා ඇවිත් වසරක් ගත වන විට අධිරාජයත්, රාජ සභිකයන්, සාමිවරු ඇතුළු හැම දෙනෙක්ම මේ කුරුල්ලගේ පුංචි නාදයක් පවා කඩපාඩමින් දැන ගෙන උන්නා. අධිරාජයේ තුඩ තුඩ රැව්දුන් ජනප්‍රියම ගිතය වුණේ මේ යකඩ කුරුල්ලගේ ගීතය තමා. කොටින්ම අධිරාජයා පවා එය ගායනා කළා.

ඒත් එක් අවාසනාවන්ත රාත්‍රියක, රජතුමාගේ සයනය ආසන්නේ මේ කුරුල්ලා තම ගීතය ගායනා කරමින් සිටින විට ට්‍රැං ට්‍රැං හඩක් එක්ක කුරුල්ලගේ බඩේ තිබ්බා මොකක් හරි එකක් කැඩුණා  කියල අධිරාජයට තේරුණා. ඔක්කෝම දැති රෝද කැරකිල්ල නැවතිලා අර ලස්සන සංගිතයත් නැවතුණා. ඇදෙන් පැන්න අධිරාජයා මේක තමන්ගේ රාජකීය භෞත චිකිත්සක වෙත යොමු කළත් ඒ හාදයට කරන්න පුළුවන් දෙයක් තියේද? ඉතිං ඒ පාර ඔරලෝසු කාර්මිකයෙකු වෙතට මේ යකඩ කුරුල්ලා ගිහින් දෙන්න වුණා. එයා මේක හොඳට පරික්ෂා කරල කැඩිච්චි ඒවා හදලා ආයිත් දුන්නේ මේක හොඳටම ගෙවිල ගිහින් නිසා අලුතෙන් කෑලි දාන්න වෙයි කියලයි. මේ හේතුව නිසා අවුරුද්දකට එක පාරක් පමණක් කුරුල්ලා සින්දු කිව යුතු යැයි තිරණය වුණා. කොයි තරම් නරක දෙයක්ද? ඒ තරං ඉවසන්න පුළුවන් කමකුත් නැහැනේ. අධිරාජයා හැමදාම නිදාගන්නේ කෝමද? මේ වෙලාවෙදි අලුත්වැඩියාව සම්බන්ධව චින අකුරු බර ගානක තමන්ගේ ඇගයීම් කතාව කරපු රාජකීය සංගීතඥයා නිසා යකඩ කුරුල්ලා පෙර තිබුණ තත්වයටත් වඩා හොඳට ඉන්නවා කියල අධිරාජයා තේරුම් ගත්තා.

සාමකාමී අවුරුදු පහක් චීනයට අවසන් වුණා. ඊට පස්සේ රටට ඇත්තටම දුක්ඛදායි කාලයක් උදා වුණා. සියලු චින ජාතිකයන් ආදරය කරපු අපේ අධිරාජයා ලෙඩ  ඇඳට වැටිලා. මරණාසන්නයි. කොයි එකටත් සුදානම්  වෙන්ට කියල හිතල අලුතෙන් අධිරාජයෙක් පවා නම් කරලයි තිබුණේ. මාලිගාව වට කරගෙන දුකින් පීඩිත වෙලා තමන්ගේ අධිරාජයා ගැන සොවින්ම රටේ මිනිස්සු අර සාමිතුමාගෙන් අධිරාජයාගේ තත්වය කොහොමද කියා විමසන්නට වුණා. ඒත් දන්නව නේ එයා දෙන උත්තරයක් නැහැ කියලා.

රාජකීය සයනය මත සීතල, සුදුමැලි වෙච්චි අධිරාජයා සැතපිලා හිටියා. සියලු රාජසභියක් හිතුවෙ අධිරාජයා දැන්නම් මැරිල ඇති කියලයි. ඒක නිසා ඒ අය අධිරාජයාට අවසන් ගෞරව දක්වන්න සැදි පැහැදි හිටියා. මේවා ගැන සෝදිසියෙන් හිටපු මාලිගාවේ සේවකයෝ  ඇති තරම් ඕපාදුප පචාරය කරන්න ගත්තා. මුළු මාලිගාව පුරාම කාමරවලත් කොරිඩෝවලත් පා තබන ශබ්දය නෑසේන විදියට මේට්ට අතුරල තිබුණ නිසා, මාලිගාවම අන්ධකාර නිශ්ශබ්දතාවකයි තිබුණේ. ඒක හරියට මළ ගෙදරක වගේ. ඒත් අධිරාජයා තවම මිය ගිහින් නැහැ. සිනිඳු වෙල්වට් අතුරල, රන්වන් ටසල් වලින් අලංකාර  වූ රාජකීය සයනය මත අපහසුවෙන් සුදුමැලිව ඉන්න රජතුමා මතටත් ඔහුගේ  කෘත්‍රිම නයිටින්ගේල් කුරුල්ලා මතටත් විවෘතව තිබු කවුළුවෙන් එබුනු සඳකැන් වැටී තිබුණා.

අසරණ අධිරාජයාට හුස්ම ගන්නත් අමාරුයි. හරියට කවුරු හරි මහත කෙනෙක් පපුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවක හුස්ම ගන්න තරම්ම අමාරුයි. අපහසුවෙන් ඇස් ඇරිය අපේ අධිරාජයා දැක්කේ ඒ වාඩි වෙලා ඉන්නේ, තමන්ගේම රාජකීය ආභරණවලින් සැරසිලා, රාජකීය මුදාව එක අතකත්, රාජකීය අසිපත අනිත් අතිනුත් දරාගෙන ඉන්නා තමන්ගේම මරණය බවයි. සයනාගාරයේ රතු පැහැති වෙල්වට් තිරවලට මුවා වෙමින් ඉතා හුරුපුරුදු මුහුණු රාශියක් තමන් දිහා බලා සිටින බවත් අධිරාජයා දැක්කා. මරණය තමා අසලින්ම වාඩි වී සිටින මේ වෙලාවේ ඒ අයුරින් තමා දිහා බලා ඉදින්නේ තමන්ගේම වත්කම්, හොඳ හා නරක යන දේවල් බවයි අධිරාජයා දැක්කේ.

“ඔබට අමතකද?“ සතර අතින්ම ඒ අය ප්‍රශ්න කරන්න ගත්තා. “මතක නැතිද?“ අධිරාජයාගේ නළල පුරාම දහඩිය ගලන්න වුණා. 

“නෑ නෑ මට මතක නැහැ. අනේ සංගීතය සංගීතය. කෝ.. ඔය සංගීතය.. මගේ පුංචි රත්තරන් කුරුල්ලෝ.. මම උඹට කොයි තරං තෑගි දුන්නද, මගේ රත්තරන් සෙරරෙප්පුවත් මම උඹගේ කරේ එල්ලුවා. ඒක නිසාවත් සින්දු කියපං“ අධිරාජයා මරු විකාරෙන් බෙරිහන් දුන්නා. ඒත් කුරුල්ලා නිහඬයි. උගේ යතුර කරකවන්නවත් කෙනෙක් අහල පහල නැහැ. මරණය කුරුල්ලා දිහාත් බලාගෙන හිටියා. ඒක නිසා කුරුල්ලත් නිහඩයි. ඇත්තෙන්ම කුරුල්ලා මාරාන්තික නිහඬතාවක.

එක පාරටම ජනේලය අද්දරින් සංගීත රාවයක් ඇහෙන්න ගත්තා. මේ අර නියම නයිටින්ගේල් කුරුල්ලා. ඌට අධිරාජයාගේ වේදනාත්මක අවසන් ඉල්ලිම ඇහුණ නිසා අධිරාජයා වෙනුවෙන් පැමිණ තිබුණා. කුරුල්ලා ගීතය ගයද්දී, අර භූතාත්ම සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඒ අය සුදු මැලි වෙද්දි රජතුමාගේ සුදුමැලි සිරුර ඇතුළේ නාලවල හෙමින් හෙමින් ආයිත් රුධීරය ගලන්න පටන් ගත්තා. මේක දැකපු අධිරාජයගේ මරණයත් “අනේ අනේ තව සින්දුවක් කියන්න කුරුල්ලෝ“ කියමින් බෙරිහන් දෙන්නට ගත්තා.

“ඒත් රජතුමාගේ ඇඳුම් ආයිත්තං ටිකයි, කඩුවයි, මුදාවයි ඔයා ආයි දෙනවද“ කුරුල්ලා මරණයෙන් ඇසුවා.


ඉති මේ ඔක්කෝම සින්දුවට හිලව්වට දෙන්න එයා පොරොන්දු වුණා. නයිටින්ගේල් කුරුල්ලා සින්දුව කියද්දී පල්ලියේ උද්‍යනයේ තිබු සුදු රෝස මල් පිපිලා ඒවයින් සුවද විහිදෙන්න ගත්තා. ඒක නිසා මුළු පරිසරයට සුගන්ධයෙන් පිරිතිලා තිබුණා .එ් සුවඳ හෙමින් සැරේ අැරපු කවුළුවෙන් අධිරාජයාගේ සයනාගාරයත් ඇවිත්. උද්‍යානයේ තණකොළ ලස්සනට කොළපාට වෙලා. මේවා දැකපු මරණය ආයිත් තමන් හිටපු තැනටම යන්න ගියා. එයා ගියා විතරයි හරිම පහසු සිහින් සුළඟක් මුළු කාමරය පුරාම පැතිරෙන්නට ගත්තා.

“අනේ බොහොම ස්තුතියි. බොහෝම ස්තුතියි ස්වර්ගයෙන් ආපු මගේ පුංචි කුරුල්ලෝ.. මං ඔයාව එළවගත්තා. ඒත් උඹ හරිම කරුණාවන්තයි. මාව මරණයෙන් ගලවාගන්න සින්දු කියන්න ආවා. මං උඹට සදා ණය ගැතියි. මගේ පුංචි කුරුල්ලෝ“ අධිරාජයා මරණෙන් නැගිට කරුණාබරිතව කුරුල්ලට කිව්වා.

“උතුමාණනි ඔබතුමා දැනටමත් මට ඒ ණය ගෙවලා අවසානයි. ඔබට මතකද මම ඉස්සෙල්ලම දවසේ සින්දු කියද්දි ඔබගේ ඇස්වලින් කඳුළු ගලා ගියා.  කලාකාරයකුට ලෝකයේ තියෙන ලොකුම මැණිකටත් වඩා ඒ කඳුළු කැට වටිනවා. ඒක නිසා දැං නිදාගත්ත රජතුමනි. මම සින්දු කියන කොට ඔබතුමා තව තවත් ශක්තිමත් වේවි“ එසේ කියපු නයිටින්ගේල් කුරුල්ලා අධිරාජයාට නින්ද එන තෙක්ම ගායනය කළා.

අධිරාජයා නැවත ඇහෙරෙන කොට උදා හිරු හෙමින් හෙමින් ජනෙල් කවුළුවෙන් එබෙමිනුයි හිටියේ. ඔහුට ඉතා පහසුවක් දැනුණා. අද උදේ නම් අධිරාජයා මිය ගිහින් ඇතිය කියා සිතුන නිසාම එතුමාගේ කිසිම සේවකයකු මේ වෙනතුරුත් සයනාගාරයට ඇවිත් හිටියේ නැහැ. ඒත් තවමත් අපේ නයිටින්ගේල් කුරුල්ලා තමන්ගේ ගායනය කරමිනුයි හිටියේ.

“ඔබ හැමදාම මාත් එක්කම ඉන්න ඕනෑ. ඔයාට සතුටු හිතෙන වෙලාවට මං වෙනුවෙන් සින්දු කියන්න. මේ යකඩ කුරුල්ලා මං කුඩු පට්ටං කරල දානවා“

“එපා. එයාට පුළුවන් උපරිමය නේ එයා කළේ. එහෙමම මේ වගේම ඉන්න අරින්න. මොකද මට මයේ කුඩුව මෙතනවත් මේ අහල පහළවත් හදන්න බැහැ. ඒ වගේම මට මාලිගාවකවත් මගේ කූඩුවේ තියෙන තරම් සැපතක් නැහැ. ඒක නිසා මං කැමති වෙලාවට මට මෙහාට එන්න ඉඩ දෙන්න. අන්න එහෙම ආපු වෙලාවක අද වගේම ඔබතුමා සතුටු වෙන විදියට මේ ජනෙල් පඩිය උඩ ඉදගෙනම මම සින්දු කියන්නම් දුකෙන්, කලකිරීමෙන් ඉන්න අය ගැන මං කියන්නම්. ඔබට නොපෙණෙන සියලු දේ ගැන මම ඔබට කියන්නම්. මම පුංචිම පුංචි කුරුල්ලෙක් වුණාට මට ඕනම ඈතකට පියාඹලා යන්න පුළුවන්. ගොවි ගෙදර, මාළුකාරයගේ ගෙදර වගේ ඔබතුමාට යන්න බැරි බොහෝ තැන්වලට මට යන්න හැකියි. මම ඔබතුමාගේ මේ ඔටුන්නට වැඩිය ඔබතුමාගේ හදවතට කැමතියි. ඔබ මට එක් දෙයක් පොරොනුදු වෙනව නම් මම කැමතියි නැවත පැමිණ ඔබ වෙනුවෙන් ගායනය කරන්න“ පුංචි නයිටින්ගේල් කිව්වා.

“මේ හැම දෙයක්ම ඔබෙයි“ අධිරාජයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

“එකම දෙයයි උතුමාණනි. ඔබතුමා කිසිම කෙනෙකුට කවදාවත් කියන්න එපා මේ වෙන හැමදෙයක්ම ඔබට කියන පුංචි කුරුල්ලෙක් ඉන්නවා කියලා. කවුරු හරි ඒක දැනගත්තොත් ඔබතුමා රවට්ටන්න මටත් වඩා හොඳට මේවා තව වර්ණනා කරල කියන්න ගනීවි“ කියපු පුංචි කුරුල්ලා තමන් ආපු කවුළුවෙන්ම ආපහු ඉගිල්ලිලා ගියා.

තමන්ගේ අධිරාජයාගේ මළ මිනිය දැකීමේ අටියෙන් සයනාගාරයට පැමිණි සේවකයන් එකත්පසව හිටගෙන බලාගෙන උන්නා. අන්න ඒ වෙලාවේ ඇස් අරල බලපු අධිරාජයා බොහොම සැහැල්ලුවෙන් හැමෝටම “සුබඋදැසනක් වේවා!“ කියල කිව්වා.

The Nightingale - Hans Christian Andersen හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන්



අදහස් (0)

නයිටින්ගේල් කුරුල්ලා

ඔබේ අදහස් එවන්න

 

කෙටිකතා

නයිටින්ගේල් කුරුල්ලා
2025 මාර්තු මස 11 290 0

අධිරාජයාගේ මාලිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විස්මිත නිර්මාණයක්.


කොස් ගස
2025 මාර්තු මස 04 564 0

ශ්‍රියානි අදත් උදේම පරල වෙලා.හැමදාම උදේට ඔහොමයි .ඉදල අරගෙන එළියට බහින්නෙම කොස් ගහ දිහා බලාගෙන.අතුගාන්න තව ඕනෑ තරම් තැන් තිබුණත් මුලින්ම යන්නේ කොස් ගහ ය


එහෙත් එහෙමද මෙහෙත් එහෙමයි
2025 පෙබරවාරි මස 25 604 0

සිල්වා රාගම දුම්රියපොළෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත් සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වකින් සිටි ඔහු ඉක්මනින්ම බර කල්පනාව


අත්තිවාරම් කැපීම
2025 පෙබරවාරි මස 18 592 2

තම ගාස්තුව කෝට්කමිස සාක්කුවේ දමාගත් නොතාරිස්වරයා “යන්නං” යැයි කීවේ ය. පිළිතුරක් දෙනු වෙනුවට මුදලිමාන කළේ ඔහු දෙස රවා බැලීම පමණකි. මහල්ලාගෙන් ඉඩම මිලය


ෂිද්දා සහ කුෂිබා
2025 පෙබරවාරි මස 11 422 0

ෂිද්දා ද ඇගේ පුත් කුෂිබා ද පර්වත ප්‍රාන්තර දෙකක් පැන නැංගාවූ ස්ථානයක, පෘථිවි මස්තකයේ සිට යාර නවයක් පොළෝ ගැබ තුළ දිය දහරක් ගලා යන තැනෙක හිඳ සිටියෝ ය.


ජීවිතයේ වර පහ The Five Boons of Life
2025 පෙබරවාරි මස 04 594 0

යහපත් සුරඟන සිය පැස සමඟ පැමිණ හිමිදිරියේ ම මෙසේ කීවා ය: ‘මෙතැන තිබෙනවා තෑගි. එකක් ගන්න. හැබැයි පරෙස්සමින්. නුවණක්කාර විධියට තෝරා ගන්න. ඒවා අතර වටිනා දෙයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 275 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 627 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 270 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site