IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනය

කවි කඳුර - 8

 

අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැති පුද්ගලාර්ථවාදි බුද්ධිවාදයෙන් ඈත් වූ ප්‍රතික්‍රියා ව්‍යාපාරයක් වශයෙනි.මිනිසාට නිදහසක් නැත.හෙතෙම සදාකාලික යදම්වලින් බැඳී සිටියි, යනුවෙන් සැලැකූ රූසෝ,සමකාලීන චින්තකයන් විසින් උච්ච ලෙස වර්ණනා කැරුණු ශිෂ්ටාචාරය යනු එවක පවා අසාර්ථක වූවක් බව දැන සිටියේ ය.ස්වභාව ධර්මය කරා ආපසු යා යුතු ය යනු විසින් රූසෝ කළ ආයාචනය එ සේ ආපසු යෑමක් ම නො වේ.සමාජයෙහි යම් සදාචාර දමනයක් යළි ඇති කිරීම සඳහා වූ දර්ශනවාදී අයැදුමකි.එහෙත් චාර්ල්ස් විරේකර් නම් විද්වතා පැවැසූ ලෙස නගරබද ,ව්‍යාජ දූෂක සිරිත් විරිත් කෙරෙන් ඈත් වූ ජීවිතය,නැණවතකුට සුදුසු හොඳ ම ජීවිතය වූ බව නිසැක ය.

ලොව හැම දේශයක ම වෙසෙන බොහෝ කවීහු ද,ශිෂ්ට සමාජය නමැති මේ බන්ධනයෙන් විමුක්ත වීමේ අපේක්ෂාවෙන් යුක්ත වූවෝ වෙත්.දැඩි සංස්කෘතික දේශපාලනික හා නෛතික යදම්වලින් බැඳුණු ජීවිතයේ වහල් ලක්ෂණ කෙරෙන් ස්වාධීන,පරිකල්පනයේ ලොවක් හැම කවියකු ම සතු ව ඇතැ යි සිතමි. ආරියවංශ රණවීර කවියා ගේ "ඉමක් සහ මලක්" නම් කාව්‍ය සංග්‍රහයේ එන 'ශිෂ්ටාචාරයේ ප්‍ර්‍රාර්ථනය ' , මේ කථෝපකථනයේ දී අත්‍යවශ්‍ය කවි නිමැවුමකි.

 

"උගුල බැඳි

සතා මස් කර

හබරල ගොටුවක ලා ගෙනා

දඩමස

ගලින් ගල ගටා

ගිනි නඟා

වල් කෝටු මිටියට අවුළුවා

දඩමස් තෙලෙන් ම බැද

ලුණු බිඳක් මුසු කර

අනුභව කොට අනතුරු ව

රුක් පියැස්සෙහි

මැස්සට ගොන්නැඟ

රාත්තිරි අඳුර තුළ නිදිගෙන

උදෑසන

වන විහඟුන්

නැවත වනයට ම කැඳවන අඬට

අනුව ම

නෙත් අරින්නට ඇත්නම්"

 

මේ වනාහි රූසෝ ව්‍යංග්‍යයෙන් මෙන් කියූ සොබාදහම වෙත ආපසු යෑමේ අපේක්ෂාවක් වැන්න.ප්‍රකෘතිය හා අත්‍යන්තයෙන් බැඳුණු ජීවිතයක් පිළිබඳ සංඥාවක් මේ නිමැවුම කෙරෙන් නැංවේ.වගකීමෙන් ,බැඳීමෙන්,වියවුලින් ඉච්ඡාභංගයෙන් ,මර්දනයෙන් තොර ප්‍රීතිසහගත ජීවිතය,මේ ශිෂ්ට යැ යි සම්මත සමාජයෙහි සාධනය කළ නොහැකි ය.වසර තුන් දහසක කාල පරිච්ඡේදයක් ඇසුරේ, වසර තුන් සියයක සාමකාමී කාල වකවානුවක් එක දිගට පැවැතී නැත.ශිෂ්ටාචාරවත් ලෝකයේ ව්‍යාජ සාමයේ දවස් වැඩි වශයෙන් ගෙවාහැර ඇත්තේ යුදය උදෙසා යැ යි ඕෂෝ වරක් පැවැසී ය.

සියලු ගැටුම් හා සතුරුකම් පිටුපස යම් ම වූ වාදයක් පවත්වාගන්නා ශිෂ්ටාචාරය යනු කවරක් ද? ඒ වූකලි ආගම ,භාෂාව,ගෝත්‍රය,වර්ණය,භූමිය යනආදි ලෙස මිනිස් වර්ගයා බෙදා වෙන් කිරීමකි.එහෙයින් මූලික ආදිකල්පික සමාජය,මෙර් ඊනියා ශිෂ්ටාචාරවත් භාවයට වඩා යහපතැ යි අප කා හට වුව මොහොතක් හැඟීයෑම සාධාරණ ය.

මේ කවෙහි ඇතුළත් දඩමස, ගලින් ගල ගටා,ගිනි නඟා,දඩමස් තෙලෙන් ම බැද,රුක් පියැස්සෙහි මැස්සට ගොන්නැඟ,රාත්තිරි අඳුර තුළ නිදිගෙන යන සියලු ඉන්ද්‍රීයරූපී උක්තීන්,දුරාතීත ප්‍රාකෘතික පරිසරයක් අප තුළ මවාලයි.මේ ආදිකාලීන ස්වභාවය කවියා අප තුළ දනවන්නේ,අවුලින් අවුලට පත් ශිෂ්ටත්වයේ ජීවන විධිය හා ගැටුමක් ඇති කොටැගැනීමෙන් නො වේ.මෙබඳු ඈත ඉතිහාස මායිමක ජීවිතයක් උත්කර්ෂයට නැංවීමක් ද මෙමඟින් නො සිදු වේ.මහා ප්‍රගතිගාමීත්වයෙන් උද්දාමයට පත් ලොවෙක හුදෙකලා වූ මිනිසකු ගේ කේවල ප්‍ර්‍රාර්ථනයක් ලෙස මේ කව ගොඩනැඟුණ ද, මෙය පොදු මිනිස් ස්වභාවය සතු අදිටනක් බවට කවියා අප වෙත සූක්ෂ්ම ලෙස අභිමුඛ කිරීමක ද යෙදෙයි..එනම් ශිෂ්ටාචාරයේ ම ප්‍ර්‍රාර්ථනය ද මෙය බවයි.

මේ කවෙහි සංකල්පීය ව්‍යූහයට සමාන තව ද කාව්‍ය නිර්මාණයක් රණවීරයන් ගේ "සඳ ඇබින්දක් " නම් කවි එකතුවෙහි දක්නට ලැබේ. එය "පිටිසර" නම් වෙයි.පිටිසරබද ගමක පාරිසරික වටාපිටාව දෘශ්‍ය චිත්තරූප රැසකින් අප මනස්තයෙහි ඇඳලන ඒ නිමැවුම මෙ සේ ය.

 

"ඉර නිවී ගිය කල්හි සඳ එන්න පෙරාතුව

ඉහ වහා වැවුණු තුත්තිරි පඳුරු නොතකා ම

පාළු තැනි පිටිය ඉක්මවා ඉදිරියට ඇවිද

පුවක් කොළපතින් ඇවුරූ කඩුල්ලෙන් පැන

කටුසර හේන් ඔස්සේ එළැඹ

බටදොඹ වදුලක සැඟව

 

වක් වෙවී ගලන

කෙට්ටු විය පහරක

සලපතළ ඉවුරෙහි

ඇල ව

 

ගලවන විටදි තුත්තිරි එකින් එක

පෙරදිග අහස එළි කර

එබෙනු ඇත සඳවත"

 

චීන කවියක මෙන් මෙහි ඇත්තේ ඉන්ද්‍රීයගෝචර භාවයට පත් කැරුණු ස්වාභාවික පරිසරයකි; එහි වෙසෙස් දෑ අප ගේ දෘශ්‍ය හා ස්පර්ශ ලෝකයට හසු කිරීමකි; අප කෙමෙන් අත්හළ ස්වභාව ලෝකය හා යළි සම්මිශ්‍ර කිරීමකි.එ සේ වන කල අපට වැඩුණු ,ගැඹුරු ජීවිතාහ්ලාදයක් අත්විඳීමට හැකි වන බව මේ නිමැවුමේ එන ප්‍රබල ඉඟියකි.කථකයා පිටිසරබද පරිසරය ඇසුරේ ආස්වාද කටයුතු විස්මයක් දැකීමේ හේතු කවරේ ද යන්න කවියෙන් හෙළි නො වේ.ප්‍රකාශිත අර්ථයට බැහැරින් වන ඇඟැවුමක් මෙහි වෙයි.

කවියා වහරණ "ඉර නිවී ගිය කල්හි", "සඳ එන්න පෙරාතුව ", "තුත්තිරි පඳුරු", "පාළු තැනි පිටිය", "කටුසර හේන් මැද දෙවැට ", "කෙට්ටු දිය පහරක" , "සලපතළ ඉවුර" යන මේ සියලු ඉන්ද්‍රීයරූප මඟින් දනැවෙන අනෙක් අරුතක් ඇත.ඒ වනාහි ප්‍රකෘතියට අයත් අප පසු කොට පැමිණි ලෝකය ය.ඒ කෙරෙහි යළි අප බඳවන මේ ස්වභාවය කවරක් ද? එනම් ස්වාභාවික පරිසරය සමඟ පැවැත් වුවමනා අත්‍යවශ්‍ය සහසමාගමයෙන් විතැන් වූ මිනිසකු , තම සිත කය නිවන,තමා හට පෙර වාස වූ භූමියක් කරා එළැඹ කලකට පසු යළි ලබන ක්ෂණිකානන්දයක මොහොතක් ද ?

පිටිසර යන්නෙන් එහි ප්‍රතිපක්ෂය වන නගරයත්,එහි ජීවිතයත්,ඊට පිටුදෙන නවීනත්වයේ ව්‍යාජ වේෂයත්,සංවර්ධනය සමඟින් පැනනැඟුණු වියවුලත් ගම්‍යමාන කරතැ යි සිතේ.තමා අත්විඳින එකී ශිෂ්ටාචාරයේ ජීවිතය නමැති කලිකලයෙන් මිදී ,පසල් දනවුවකට එළැඹි පුද්ගලයකුට ,ඒ භූමියට අයත් සියල්ලෙහි ඇති නිසර්ග ප්‍ර්‍රාකෘතික ස්වරූප ප්‍රාතිහාර්‍යයන් වැනි වේ.කටුසර හේන් මැද දෙවැට,පුවක් කොළපතින් ඇවුරූ කඩුල්ල,බටදොඹ වදුල,වක් වෙවී ගලනා කෙට්ටු දිය පහර යන මෙහැම,තමා මඳකට වෙන් ව පැමිණි ජරා ජටිල වූ ලොවෙක ඝෝෂයෙන් අත්මිදුණු ,මහා ස්වභාවයෙහි ම සියුමු ස්නායු ලෙස පවත්නා අංග ප්‍රත්‍යංගයෝ වෙත්.

මේ කවියෙහි වන කථකයා යළි මේ හුදෙකලා දනවුව වෙත කැඳවන මූලික ආරම්මණය වන්නේ තත්ත්වාරෝපිත නාගරික ජීවිත ප්‍රවෘත්තිය ය.එකී තත්ත්වාරෝපණයෙන් විනිර්මුක්ත,පරම තීර්ථයක සාමකාමී ව පැවැත්විය හැකි දීර්ඝ ජීවිතයක් කථකයා මෙමඟින් අපේක්ෂා නො කරයි.තමා පෙළන නිරන්තර පීඩාවෙන් මැඬුණෝ අල්පමාත්‍ර පෞද්ගලික සංසිඳීමක් පිණිස අද ද මෙ සේ යති.

ආරියවංශ රණවීර කවියා මේ කවි මඟින් යම් බරැති දාර්ශනික කථනයක් අප වෙත නො ගෙනෙයි.ශිෂ්ටාචාරයේ හා නූතන විගර්හිත සමාජයේ වියවුල ද ඔහුට අත්දැකීමක් පමණි.තමා ජීවත් වන යුගයේ අදහස් සංවේදනා බවට පත්කිරීමට රණවීර කවියා මෙහි දී ප්‍රෝත්සාහී වෙයි.යම් මතවාදයක් නිසා හටගැනුණු වේදිතයක් ,කවිය ඇසුරේ පිළිබිඹු විය යුත්තේ එල්ලූ අඩයාලමක් ලෙස නො ව,කවිය නමැති සියුමු මිශ්‍රණයෙහි පෙනී නොපෙනී පවතින්නක් ලෙස ය යන එළියට් කවියා ගේ විග්‍රහය රණවීරයන් ගේ මේ නිමැවුම් යුගලයෙන් ප්‍රකට වෙයි.



අදහස් (0)

ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනය

ඔබේ අදහස් එවන්න

 

 
 

කවි කඳුර

අඛණ්ඩතාවයේ මොහොතක් - A movement of continuation
2024 ජුනි මස 11 125 0

සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ


කවියේ අර්ථයට වගකියන චිත්තරූප
2024 ජුනි මස 04 172 0

කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී


ශිෂ්ටාචාරයේ ප්‍රාර්ථනය
2024 මැයි මස 28 81 0

අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ


තොරතුරු හා දැනුම හිස් ජීවිතයක ඇරැඹුම ද?
2024 මැයි මස 21 53 0

ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම


හයිකු කවියට උපත දුන් ’රෙන්ගා’
2024 මැයි මස 14 94 0

ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)


මහමඟ සිඟාකෑ සෙන් කවියා - ර්යෝකන්
2024 මැයි මස 07 93 0

අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 988 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site