IMG-LOGO

2025 නොවැම්බර් මස 30 වන ඉරිදා


සඳකත් මිණිදිය දියවී ගලනා

සුකීර්තිමත් ගේය පද රචක,කිවිසුරු,සකල කලාවල්ලභ මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද හෙළයේ මහගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්⁣යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත වූ මෙි ගීතය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතුමල් චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙි වූකලි විප්‍රලම්බ ශෘංගාරය දනවන තවත් අනගි ගීමිණිරුවනකි.

මෙි විශ්වයේ කුමක් නම් නොවෙනස් ව පවතීද?ලොව වෙනස් නොවන එකම දෙය වෙනස්වීම පමණක් නොවේ ද?මෙි ගෝලාකාර ලෝකයේ විවිධාකාර මිනිස්සු සිටිති.මෙනයින් සියල්ල අනවරතයෙන් චලනය වෙි. ලෝක නියාම ධර්මයට අනුව ප්‍රේමය ද මෙි විශ්වීය නියාමයට යටත්ය.මෙකී නියාමයට යටත් නැති දෙයක් ලොව කොහි වෙත්ද? උනුන් කෙරෙහි ආකර්ෂණය වන ආදරවන්තයන් නොසිතු විරූ ලෙස උනුන්ගෙන් විකර්ෂණය වන්නේ ඇයි? ඊට හේතුව අප වසන සමාජයේ පෙම් බැඳුම් ස්වාධීන නොවීම ය.පෞද්ගලික සීමා මායිම්වලින් ඔබ්බට ගොස් ප්‍රේමය ද සමාජය නමැති කොටුපවුරේ හැපී අවසානයේ සුන්නද්ධූලි වී යයි.එහෙත් ලෝකයේ දියුණු රටවල ප්‍රේමයට තහංචි නැත.එම රටවල සමාජය සාපේක්ෂ වශයෙන් ස්වාධීනය.

ආසියාතික රටවල ඇතැම් ප්‍රේමවන්තයෝ තමන්ට ⁣ලබාගැනීමට නොහැකි වූ ප්‍රේමයක් වෙනුවෙන් මුළු ජීවිත කාලය තුළම හඬා වැලපෙති,සුසුම් ලති.එහෙත් ලොව හැමතැනකම, හැමමොහොතකම, හැමපැයකම, හැමතත්පරයකම ස්ත්‍රීහු ද පුරුෂයෝ ද හමුවෙති.උනුන් එකිනෙකා ආදරයෙන් සිප වැළඳ ගනිති.ඇතමෙක් සම්භෝග සම්පර්කයට ද එළැඹෙති. වෙන් වෙති. කලකට පසු යළි හමුවෙති. සමහරු එක තීරණයකට එළැඹීමට නොහැකිව කල් මරති.වැනෙති.කල්පනා කරති.ප්‍රේමයේ හැටි එසේය.මෙි ගීතයේ කථකයා තමා හදවතින් ම පෙම් කරන යුවතිය හිමිකර ගැනීමට නොහැකිව ළතැවෙයි.එහෙත් ඈ කෙරෙහි ඔහුගේ සිතෙහි උපන් අකලංක ප්‍රේමය විප්‍රලම්බ ශෘංගාරය දනවයි.විප්‍රලම්බ ශෘංගාරය යනු රස සාගරයකි.මෙි වූකලි වියෝගි පෙම්වතුන් තුළ උපදින ශෝකය සුඛප්‍රහර්ශයෙන් රසිකයාට දනවන ශෘංගාරාත්මක රසාවෙිශයකි.මෙහි පළමු පදය රමණීය නොවේ ද ?

 

සඳකත් මිණිදිය දියවී ගලනා

සීතල කඳු අතරේ

හද ගොළු වී ඉකි බිඳ

ඔබ හඬනා හඬ

මා සවනේ පෑරේ

 

සඳකත් මිණි යනු කිම? මෙි වූකලි සඳරැස් කැටිවී සැදුණු මාණික්‍ය විශේෂයකි.සොමි සඳ පායා අහස් කුස ලඹ දෙන සඳ මෙකී මැණික් දිය වී ගලා හැළේ.සංවෙිදී කලාකරුවෝ මෙකී සෞන්දර්යාත්මක චිත්ත රූපික සිතුවම කවි ඇසින් දකිති.ඈත ඝන නිල් අහස ද මිහිතලය ද කිරිසුදු පැහැති සඳ පහනින් නැහැවී ඔකඳ වන මෙි හෝරාව කෙතරම් නම් රමණීය ද?මෙි කථකයා තමාගෙන් වියෝ වූ පෙම්වතිය පිළිබඳ ලොබලිය වඩමින් අතීතාවර්ජනයක නියැළෙයි.දිවා කල සැඩ හිරු රශ්මියෙන් නැහැවුණු සිරුර උස්කඳු වළල්ල පිස එන සීතල සුළං රැල්ලෙන් නිවී සැනසේ.යටකී පාරිසරික වෙනස් වීම් හමුවෙි ඔහුගේ අධ්‍යාත්මය වටා පැතිර ඇති ශෝකාන්ධකාරය සෙමෙන් පහව ගිය ද වියෝ වූ පෙම්වතිය සිහිවී නැවත එය දලුලයි.රාත්‍රි නිහැඩියාව මැදින් ගලා එන්නේ ඇගේ හද ගොළුවී ඉකිබිඳින සෝබර හඬ නොවේ ද?ඒ දුක්බර හඬ වියෝගි පෙම්වතාගේ සවනත පාරයි.⁣උනුන්ගෙන් වියෝ වූ පෙම්වතුන් යුවළකගේ ආධ්‍යාත්මික වෙිදනාව පාරිසරික බලපෑමෙන් තව තවමත් තීව්‍ර වන ආකාරය මහගම සේකරයෝ වාග් චිත්‍රයකට නගති.සෝසුසුම් මුසුවූ ඒ හැඟීම් ප්‍රකාශ කිරීමට වචනවලට හැකිද?

 

නිසංසලේ රෑ අහසේ

නිසංසලේ රෑ ඝන බොල් අහසේ

මිලානවූ තරු එළියේ

ඔබේ නුවන් මිණිපහන් නැගී

ඇවිළේ මා දෑසේ

 

මෙි කථකයාගේ ප්‍රේමානිසංස සුඛප්‍රහර්ෂයට හේතු නොවෙි.පෙම්වතියගේ වියෝව ඔහුගේ හදවතට තදින් දැනේ.නිසංසල රාත්‍රි⁣ය පවා ඔහුට ගෙන දෙන්නේ දැඩි හුදෙකලා බවක් නොවේ ද? තම ප්‍රාණසම පෙම්වතිය ළඟ නැති රාත්‍රිය කුමට දැයි ඔහුට සිතෙයි.මෙහිදී බොල් අහස යනු හිස් විසල් අහසයි.නිසල රැයේ කිසිදු මිනිස් හඬක් නැත.සියල්ලෝ නිදි දෙව්දුව වැළඳගෙන⁣ය.ඈත අහස් කුස අරා නැගී එන හිස්කම ඔහුගේ පාළුව,කාන්සිය තවත් දෙගුණ තෙගුණ කරයි.තම ප්‍රියාවිය ළඟ නැති ශෝකය ඔහුට තවත් උහුලා ගැනීමට නොහැකි තරම්ය.⁣මඳ අඳුරේ නැගෙන තරු එළිය පවා මලානිකය.නුවන් මිණිපහන් බඳු පෙම්වතියගේ දිලිසෙන ඇස් හුදෙකලාව අතරින් නැගී ඔහුගේ දෑස් මත කාන්තියෙන් ඇවිළී යයි.මෙහිදී රචකයා පෙම්වතියගේ මිණිපහන් වන් නුවන් පිළිබඳ කථකයා තුළ මතකය දැල්වීමට ගත් ප්‍රයත්නය කෙතරම් කාව්‍යාත්මකද? ඔචිත්‍ය ද?සේකරයන්ගේ කවිකම් කෙතරම් මනරම් දැයි මෙි ගීමිණිරුවන පවා දෙස් දෙයි.

 

සුසුම් හෙළන තුරුලතා ළපල්ලේ

සිහිල් සුළඟ හා වෙළී

මගේ කවුළුදොර තුළින් එබී

ඔබ සොයා ඇදේ

 

මඳ සුළඟට තුරුලතා ළපලුවල සුසුම් හඬ පවා ඇසේ.ගහකෙළ ළාදලු පිස හමන සිහිල් සුළඟ කෙතරම් නම් සුවදායකද?එහි එතී එන ඇගේ ආධ්‍යාත්මික සුවඳ ප්‍රේමයේ පරමානන්දය, සුඛානන්දය ඔහුට සිහිපත් කරයි.එයින් ඔහුගේ සිත ගත සිහිල් වී සන්සුන් වී නිවී සැනසේ.මෙහිදී කථකයාගේ සිත කවුළුදොර අතරින් ඇදී වියෝගිනි පෙම්වතිය වෙත එබෙයි.එවිට ඇගේ සුන්දර රූසපුව ඔහුට දිස් වෙයි.මෙි වනාහි ශේක සම්මිශ්‍රිත කාය සංසර්ග රාගික හැඟීම් මුසුවූ නිමෙිෂයක් නොවේ ද?තම ප්‍රියාවිය සිතින් හෝ දැක කාල්පනික ලෝකයේ තනිවී සම්භෝග ශෘංගාර සුව විඳීමට ඔහුට සිතෙයි.එහෙත් පියවි ලොවෙි එබඳු ලෙව්තුරු සැපතක් විඳීමට ඔහුට කෝ ඉඩක්? එවිට සිතකය දෙකම වියෝගින්නෙන් දැවී යන අයුරු දැනීම අරුමයක් ද? අතීතය සිහිනෙන් ගෑ සුවඳක් මෙනි.කථකයාගේ සිතුවිලි දිවෙන්නේ ඒ රසමුසු තැන් හඹාගෙනය.එහෙත් ඒ සිහින විජිතය දැන් බිඳී අවසන්ය.දැන් ඉතිරිව ඇත්තේ ප්‍රේමයේ විප්‍රලම්බ ශෘංගාරය විඳීමට පමණි. මෙි ගීතය පුරාවට මහගම සේකරයෝ අලංකාර වචන ගොන්නක් ම භාවිත කරති.රූපකාර්ථවත් බසක් යොදා ගනිති.චිත්‍රරූප සමූහයක් මවති.මෙි වූකලි කුරිරු සමාජයේ ජුගුප්සිත නරාවළෙහි විකසිත වී මුකුලිත වූ තවත් එක් ප්‍රේමපුෂ්පයක් නොවේ ද?

 



අදහස් (0)

සඳකත් මිණිදිය දියවී ගලනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 209 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 266 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site