සතියකදී හරිස්චන්ද්‍ර මිල්ස් කොටසක් තුන් ගුණයකට ආසන්නව ඉහළට
භානුක අමරසිංහ
මෙරට සුප්‍රසිද්ධ දේශීය සමාගමක් වන හරිස්චන්ද්‍ර මිලිස් පීඑල්සී සමාගමේ සියයට 40.58 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගත් හේලීස් සමූහය, එහි ඉතිරි සියයට 59.42 ක කොටසත් අත්පත් කරගැනීම සඳහා ඉදිරිපත්ව තිබෙන බව පවසයි. පසුගියදා ඊට අදාළ යෝජනාව හේලීස් සමූහය මගින් එම කොටස් හිමිකරුවන් වෙත ඉදිරිපත් කර තිබේ.
එම සමුහය පසුගියදා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ කොටස් 778,946ක් මිලදී ගත් අතර, එම කොටස් මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් මහතාට අයත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම වෙත හිමිව තිබූ කොටස්ය. කොටසක් රුපියල් 3,300 බැගින් සිදුවූ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.57 ක් විය.
ඒ අනුව හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති ඉතිරි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය වන 1,140,654 අත්පත් කරගැනීම සඳහා හේලිස් සමුහය මෙලෙස එම කොටස් හිමිකරුවන්ට යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙහිදී හේලීස් සමාගම සිය මූලික අත්පත් කරගැනීම සිදු කරගත් කොටසකට රුපියල් 3,300 බැගින් එම කොටස් සඳහාද ගෙවීමට කැමැත්ත පළ කර ඇතැයි සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සිදුවී සතියක කාලයක් ගත වූ දිනෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී හරිස්චන්ද්‍ර මිල්ස් කොටසක වටිනාකම රුපියල් 9,000 කට ආසන්න මට්ටමක පැවතුණි. එසේම පසුගියදා එම අගය රුපියල් 11,000ක මට්ටමකටද පත්විය.
හරිස්චන්ද්‍ර මිල්ස් සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට හේලීස් සැරසෙයි