සටහන සහ ඡායාරූප - මාවනැල්ල සමන් විජය බණ්ඩාර
හෙම්මාතගම ප්‍රදේශයේ දිරිය කාන්තාවන්ගේ ආර්ථිකය නංවාලීම වෙනුවෙන් රජයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ ජංගම වෙළෙඳසල් ව්‍යාපෘතිය මේ වන විට ඉමහත් සාර්ථකත්වයක් අත්කර ගනිමින් පවතී.
මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හල අසලදී විවෘත කරන ලද මෙම ජංගම වෙළෙඳසල් හරහා එම ප්‍රදේශයේ කාන්තාවන්ට ස්වයංරැකියා මගින් දෛනික ස්ථාවර ආදායමක් උපයා ගැනීමට මග සැලසී ඇත.
මෙම වෙළෙඳසල් මගින් ගමෙන්ම ලබාගන්නා පිරිසුදු, වස-විෂ නැති එළවළු සහ පලතුරු මෙන්ම, කාන්තාවන් විසින් නිපදවන ලද ඇඳුම් පැළඳුම් සහ අත්කම් නිර්මාණ අලෙවි කෙරේ. තවද, කැවුම්, කොකිස් ඇතුළු සාම්ප්‍රදායික රසකැවිලි මෙන්ම ගෙදර දොරේදී සකස් කරන ලද ආහාර පාන සඳහා ද මේ වන විට පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇති අතර, පවතින ඉල්ලුම සපුරාලීමට ද නොහැකි තරමට අලෙවිය ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ ඉන් තම පවුල් ජීවිතවලට ලැබී ඇති සහනය පිළිබඳව අදහස් දක්වමින් ජංගම වෙළෙඳසලක් පවත්වාගෙන යන ජී.ජී. ප්‍රියංකා සෙනෙවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි කලින් පාර අයිනේ මේස තියාගෙන පොඩි පොළක් තමයි පවත්වාගෙන ගියේ. වැසි දිනවලදී අපිට වෙළෙඳාම් කටයුතු කරගන්නවත් ලැබුණේ නැහැ. අද මේ වගේ ස්ථාවර ක්‍රමයක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මගේ ස්වාමියා පෙදරේරුවෙක් ලෙස වැඩ කළත් සමහර දිනවල වැඩ නැහැ. අපේ එක පුතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට දෛනිකව විශාල මුදලක් වියදම් වන නිසා, මේ ව්‍යාපෘතිය හරහා අපේ පවුලට විශාල ආර්ථික සහනයක් ලැබී තිබෙනවා. මේ සඳහා උදව් කළ රජයට සහ සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය පුද කරනවා.”
එමෙන්ම, තවත් ව්යාපාරිණියක වන පී.ජී. ධම්මිකා දමයන්ති මහත්මියද සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“මම මෙතන අලෙවි කරන්නේ කූල් බීම, ගෙදර හැදූ යෝගට් සහ කේක් වර්ගයි. ඉස්සර නම් පාරේ හරිහැටි ආවරණයක්වත් නොමැතිවයි මේවා විකුණුවේ. දැන් ඒ සියලු අපහසුතා මගහැරී ගොස් තිබෙනවා. ගෙදරට වී කාලය ගත කරනවාට වඩා, කාන්තාවන් විදිහට අපේ හැකියාව පෙන්වමින් ආර්ථික අතින් ඉහළට යන්න මේක හොඳ අවස්ථාවක් වුණා. ඉදිරියේදී රජයෙන් අපිට තවත් හොඳ පුහුණුවක් ලබා දුන්නොත් මේක තවත් දියුණු කරගන්න පුළුවන්.”
මෙම ව්‍යාපෘතියේ මූලික සංකල්පය සහ එහි පසුබිම පිළිබඳව අදහස් දැක්වූ හෙම්මාතගම ප්‍රජා ශක්ති කමිටුවේ සභාපති ටී.එම්. සේනානායක මහතා පැවසුවේ, තම කමිටුවේ යෝජනාවක් මත මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශය යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි. ගමේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් පාලම්, බෝක්කු සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ග්‍රාමීය කාන්තාවන්ගේ ශ්‍රමය, දක්ෂතාව සහ ව්‍යුහාත්මක දායකත්වය අගයමින් ක්‍රියාත්මක වන මෙම ජංගම වෙළෙඳසල් ව්‍යාපෘතිය, හෙම්මාතගම ප්‍රදේශයේ පවුල් රැසකගේ ජීවිත නංවාලීමට සමත් වූ කදිම ආදර්ශමත් වැඩසටහනක් බවට පත්ව තිබේ.



හෙම්මාතගම දිරිය කාන්තාවන්ට නව ජංගම වෙළෙඳසල්