ශ්‍රී ලංකාව තුළ පළමුවරට හිම ක්‍රීඩා සඳහා යොදා ගන්නා සැබෑ ප්‍රමාණයේ ආදර්ශ නිපදවීම වෙනුවෙන් SkiPod Manufacture (පෞද්) සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 3ක ආයෝජනයක් කරන බව පවසයි. ඊට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් (BOI) සමගින් වන එකඟතාවට අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.
SkiPod යන ජනප්‍රිය නාමයෙන් ඉදිරිපත් වන එම නිෂ්පාදන ලොව පළමු ගෘහස්ත හිම සහ ස්නෝබෝර්ඩින්ග් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා සැබෑ ප්‍රමාණයේ ආදර්ශ ලෙස සැලකෙයි. එම සමාගමේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ එක්සත් අරාබි එමීරය හඳුනාගෙන තිබේ. ඇමෙරිකාව පදනම් කරගත් ආයෝජනයක් ලෙස මෙම ආයෝජනය මෙරට වෙත හිමිවන බව සඳහන් වෙයි. ඒ අනුව නිව්යෝර්ක් නුවර සහ කොළඹ ක්‍රියාත්මක Continam Group නම් සමාගමක් මෙම ආයෝජනය වෙත පහසුකම් සපයයි.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, “මෙලෙස නවීනතම තාක්ෂණය සහ ක්‍රීඩා අංශයේ ආයෝජන මෙරට වෙත හිමිවීමත් සමගින්ම ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ අංශ වෙත දක්වන සේවාව සම්බන්ධයෙන් ලෝකයට යම් පණිවුඩයක් සපයනවා. විශේෂයෙන්ම මෙම නිෂ්පාදන තාක්ෂණය හරහා ලැබෙන දෘඩාංග සහ මෘදුකාංග හැසිරවීමත් සමගින්ම මෙරට තරුණයන්ටත් ඒ පිළිබඳව උගෙනීමටත් වැඩි අවස්ථාවක් හිමි වෙනවා.“ යනුවෙන් පවසයි.
හිම ක්‍රීඩා ආදර්ශ නිපදවීමට SkiPod සහ BOI ඩොලර් මිලියන 3ක ආයෝජන එකඟතාවක්