IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නංවන්න ජාතික ණය සුරුකුම් ආයතනය ශක්තියක්

  • මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට දායකත්වය සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
  • ශ්‍රම බළකායෙන් සියයට 45 කට රැකියා සපයා ඇත්තේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
  • ශ්‍රී ලංකාවේ සක්‍රීය ව්‍යවසායවලින් සියයට 75 ක් නියෝජනය කරන්නේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලබාදී ඇති ඉහළම බැංකු ණය ප්‍රමාණය රුපියල් බිලියන 704ක්
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් 2016 වසරේ සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 440 ක ණය පහසුකම් 

විමුක්ති එස් රුද්‍රිගු

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙරට ආර්ථිකයේ වැදගත් කොටසක් බවත් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට දායකත්වය සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවත් ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂක ජනරාල්වරියක වන ලියා ගුටේරස් මහත්මිය ඊයේ (02) ප්‍රකාශ කළාය.

එසේම මෙරට ශ්‍රම බළකායෙන් සියයට 45 කට රැකියා සපයා ඇත්තේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවද ඇය පැවැසුවාය. ශ්‍රී ලංකාවේ සක්‍රීය ව්‍යවසායන්ගෙන් සියයට 75 ක් නියෝජනය කරනු ලබන්නේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලබාදී ඇති ඉහළම බැංකු ණය ප්‍රමාණය රුපියල් බිලියන 704 බවත් ගුටේරස් මහත්මිය සඳහන් කළාය.

එලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ලබාදී ඇති රුපියල් බිලියන 704 ක ණය මුදල මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් මුළු ණයෙන් සියයට 9 ක් පමණ බවද ඇය පැවැසුවාය. විශාල වෙළෙඳපොළ හිඩැසක් තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

මෙරට පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන ප්‍රයෝජනවත් සහ දැරිය හැකි මූල්‍ය නිෂ්පාදන සහ සේවා වෙත ප්‍රවේශය තිබෙන බව සහතික කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව දීර්ඝ කාලයක සිට කටයුතු කරන බව ඇය පැවැසුවාය. ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සහාය ලබාදී තිබෙන බවද ගුටේරස් මහත්මිය ප්‍රකාශ කළාය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ආසියානු සංවර්ධන බැංකුව 2016 වසරේ සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 440 ක ණය පහසුකම් සපයා තිබෙන බවද ඇය පැවැසුවාය. සියලු‍ අංශ සහ මෙරට සියලු‍ ප්‍රදේශ ආවරණය වන පරිදි එම ණය පහසුකම් ලබාදීම සිදුකර තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුවේ නවතම ව්‍යාපෘතිය යටතේ එම ව්‍යවසාවලට ණය පහසුකම් ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම ණය පහසුකම් ඉලක්ක ගත ව්‍යවසාය වෙත හවුල්කාරිත්ව මූල්‍ය ආයතන 13 ක් ඔස්සේ ලබාදීම සිදුකරනු ඇති බවත් ගුටේරස් මහත්මිය පැවැසුවාය.

කාන්තාවන්, තිරසාර මුල්‍යනය සහ රජයේ ප්‍රමුඛතා අංශ මත අවධානය යොමු කරමින් එම ණය පහසුකම් ලබාදීම සිදුකරනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. මෙම ණය පහසුකම හරහා පරිසර සහ සමාජීය ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවයක් සියලු‍ම මූල්‍ය ආයතන වල ගොඩනගා තිබෙන බවති එහිදී මූල්‍ය ආයතන කාර්ය මණ්ඩලය පාරිසරික සහ සමාජීය ආරක්ෂාව පිළිබඳ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දැනුවත් කිරීම සඳහා පුහුණුකර ඇති බවත් ඇය පැවැසුවාය.

ඒ අනුව මූල්‍ය ආයතන සිය පාරිභෝගිකයන්ට සුදුසු පරිදි මග පෙන්වනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එසේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටද ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ණයක් ලබාදී තිබෙන බවත් එමගින් එම බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ලබාදෙන සහායද ඉහළ යනු ඇති බවත් ගුටේරස් මහත්මිය පැවැසුවාය.

ආසියානු සංවර්ධන බැංකුව පුද්ගලික අංශයෙන් මෙරට පුද්ගලික වාණිජ බැංකු 3 කට සෘජු අරමුදල් සහාය ලබාදී තිබෙන බවත් එම බැංකු හරහා මූල්‍ය ආයතනවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අරමුදල් සැපයීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක් වෙන්වෙන බවද ඇය ප්‍රකාශ කළාය. පසුගිය වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ සහ සැපයුම් අංශ වැඩසටහන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 3000 කට ආසන්න සංඛ්‍යාවකට සහාය ලබාදී ඇති බවද ඇය පැවැසුවාය. 

ජාතික ණය සුරැකුම් ආයතනය ආරම්භ කිරීම මෙරට මූල්‍ය අංශය සංවර්ධනය කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මූල්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබාදෙන නවෝත්පාදන විසඳුමක් ලබාදෙන බවත් ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව හරහා ආසියානු සංවර්ධන බැංකුව සමග ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවීම සඳහා 2016 වසරේ සිට සමීපව කටයුතු කළ බවද ඇය පැවැසුවාය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහ රජයේ ප්‍රධාන අරමුණ වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මූල්‍ය පහසුකම් සඳහා නිසි ප්‍රවේශය ලැබෙන බව සහතික කිරීම බවත් විශේෂයෙන් මූල්‍ය ආයතනයකින් ණය පහසුකම ලබා ගැනීම සඳහා ඇපකරයක් ලබාදිය නොහැකි සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මූල්‍ය පහසුකම් සඳහා නිසි ප්‍රවේශය ලැබෙන බව සහතික කිරීම ආසියානු සංවර්ධන බැංකුවේ සහ රජයේ අරමුණ වූ බවත් ඇය සඳහන් කළාය. ජාතික ණය සුරැකුම් ආයතනයේ රජයේ කොටස් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවට ලබාදීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඇය ප්‍රකාශ කළාය. ණය මුදලට අමතරව ජාතික ණය සුරැකුම් ආයතනයට ආසියානු සවර්ධන බැංකුවේ තාක්ෂණික සහායද හිමිවන බව ඇය පැවැසුවාය.

මෙම වසරේ ජනවාරි මාසයේදී ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 116 ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ඇපකරවලින් කොටසක් ලෙස රුපියල් මිලියන 426 වටිනා ඇපකර නිකුත් කර තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඊයේ (02) කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැතිවිණි. එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂක ජනරාල්වරියක වන ලියා ගුටේරස් මහත්මිය මේ අදහස් පළ කළාය.

ජාතික ණය සුරැකුම් ආයතනය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලබා ගැනීමට අපේක්ෂා කරන මිලියන 5 සිට 25 දක්වා ණය මුදලෙන් සියයට 67 ක් සඳහා මෙරට වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන 13 ක් ඔස්සේ ඇපකර සැපයීම සිදුකරනු ලබයි.

ඡායාරූප- ප්‍රදීප් පතිරණ



අදහස් (0)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නංවන්න ජාතික ණය සුරුකුම් ආයතනය ශක්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site