IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සංහිඳියා - සහජීවන ජාතික ප්‍රතිපත්තිය ඵලදායිද?

 

ජේ. නවරත්නම්


දෙදහස් විසිපහේ අගෝස්තු 4 වැනිදා කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් සංහිඳියාව සහ සහජීවනය සම්බන්ධ අලුත් ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්මක නව සැකැස්මක් අනුමත කරනු ලැබුවේය. එය අධිකරණ අමාත්‍යාංශය යටතේ වූ ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා කාර්යාලයේ මූලිකත්වයෙන් සිදුවිය. 
එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි ප්‍රතිපත්තියක් ඉවහල් කරගනු ලැබූවත්, එයින් අනුගමනය කරනු ඇත්තේ 2017 සංහිඳියා සහ සහජීවනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියමය. එම ප්‍රතිපත්තිය රාමුගත කර ඇත්තේ සමස්තය සළකා බැලීම හ සමථවීම වටාය. ඒ අතර ගැටුමට පදනම් වූ සමූහ ම්ලේච්ඡ ක්‍රියාවලට මුක්තිය පිරිනැමීම, මධ්‍යගත අධිකාරීවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය සහ දමිළ ස්වයං පාලන අයිතිය ප්‍රතික්ෂේප කිරීම යන කාරණා එහිදී මගහැර තිබේ. එහිදී රාජ්‍ය සාවද්‍යතා පිළිගැනීමක් සිදුවී නැත. එහි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් හෝ බොහෝ කල් පටන් පවත්නා දමිළ දේශපාලන ඉල්ලීම් පිළිගැනීමක් නැත. 
මේ ආකාරයට තවමත්, එය ශෝචනීය ලෙස අසාර්ථක වී ශ්‍රී ලංකාව සැබෑ අන්තර්ජාතික එකමුතුවකට වඩාත් සමීප යැයි තර්ක කිරීමට අයෙකුට නොහැකි තරම්ය.
එකී ප්‍රතිපත්තියේ සූත්‍රගත කිරීම සහ එම යෝජිත දුර්වල පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අසාර්ථකත්වය ගැන පිළිතුරු දෙන අයෙක් නැත. 
එසේ වුවද, තවත් ඒකපාර්ශ්වික මුලපිරීමකට, එකම අච්චුවේ මාත්තුකළ ඒ හා සමාන වූවකට, තවත් කාලය නාස්ති කරමින්, එකම අකා මකා දැමීම්වලින් නැවත නිමාවන කටයුත්තකට අපි මුහුණ දී සිටින්නෙමු.
එවැනි ප්‍රතිපත්තියක් කිසිවිට, කිසිදින දමිළ දේශපාලන පක්‍ෂ ඉල්ලා නොමැති අතර එය අද දවසේ ඉල්ලීමක් නොවන වග නිශ්චිතය. එවැනි ප්‍රතිපත්තියක් පිළිබඳව දමිළ ප්‍රජාවත් කිසිවිට කතා කර එවැනි ඉල්ලීමක් කර නොමැතිවීම ද ඉතා වැදගත්ය. 


දමිළ වැසියන් සමූහ වශයෙන් ඝාතනයට ලක්වූ බවට පිළිගැනීමක් නැත 
මේ ලිපිය ලියන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවේ අලුත් රජය චෙම්මිනි සමූහ මිනීවල ගැන කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. මේ ලියන අවස්ථාව වන විට එහි අවම වශයෙන් ළමයින් සහ ළදරුවන් ඇතුළු මිනිසුන් 147 කගේ අස්ථි කොටස් ඇති බව අනාවරණය වී තිබේ. 
සමූහ ඝාතනයන්, ස්ත්‍රී දූෂණයන්, අතුරුදහන් කරවීම්, සන්නද්ධ ගැටුම් පවතින කාලය තුළ දමිළ වැසියන් අවතැන් කිරීම් ගැන කිසිම පිළිගැනීමක් සිදුවී නොමැත. වගවීම පිළිබඳ ක්‍රියාත්මක වීම් පසෙක තිබියදී පවතින්නේ එබඳු තත්වයකි. 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර දැමීම වැනි ප්‍රතිසංස්කරණයන්ද විවෘතවම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එය මෙම රජයේ පැහැදිලි පොරොන්දුවක් සහ පාර්ලිමේන්තුවේ පහසුවෙන් සම්මත කළ හැකි කටයුත්තකි. එසේ තිබියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 2025 වාර්තාවේ සටහන් වන්නේ 2025 වසරේ පමණක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් 49 ක් සිදුවී ඇති බවකි. ඒ අතර, දමිළ විරෝධතා ව්‍යාපාර හා මාධ්‍ය ක්‍රියාකාරී ලෙස සෝදිසි කිරීම හා ඒවාට අඩන්තේට්ටම් කිරීම් නිරන්තරවම සිදුවේ. ඒ අතර නැවත නැවත ත්‍රස්තවාදී කටයුතු විමර්ශන අංශයෙන් නැවත නැවත කැඳවීම් කිරීමද සිදුවේ. 2019 පටන් කල් දමා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ කාල රාමුවක් මෙතෙක් සහතික කර දක්වා නොමැත. එය සුළුතර ප්‍රජාවන් වෙත බලය විමධ්‍යගත කිරීමේ මූලික සනිටුහනකි. 
දැන් මෙම වාතාවරණය යටතේ ජාතික ප්‍රතිපත්තියක් යෝජනා කිරීම හුදෙක් විකට නාටකයක් පමණක් නොව එය ආක්‍රමණශීලී පිළිකුල් ක්‍රියාවක්ද වෙයි. එහි එකම පැහැදිලි අරමුණ ලෙස පෙනී යනුයේ රජය කියාපාන එකමුතුකම පිළිබඳ කතාව නැවත තහවුරු කර සිටීමයි. එය ළඟ එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන විසඳුම් යෝජනා පමා කිරීමට දරන උත්සාහයක් සේ පෙනී යයි. 
එය මහත් පිළිකුල් සහගත ක්‍රියාවක් විය හැකියි. යුද ගැටුම්වලින් පසුව එළැඹුණු අවුරුදුවල ශ්‍රී ලංකාවේ සංහිඳියා සහ සාම ප්‍රතිපත්ති සැලසුම් ඉතා දුර්වල ඒවාය. අන්තර්ගතය මත පමණක් විනිශ්චය කර තැනූ එම යෝජිත ප්‍රතිපත්තිය කෙරේ අවධානයට ලක්වනුයේ මඳ වශයෙනි. ඒවාට ඇති දේශපලාන රංගය සැබැවින්ම හෙළා දැකිය හැක්කකි. 
සැලකිල්ලෙන් කෙටුම්පත් කරන මුවාවෙන් සහ ව්‍යාජ උපදේශන මුවාවෙන් කරන කටයුතු නිසා එහි කාර්ය සංවර්ධනය උදෙසා මාස ගණනාවක් ගතවනු ඇත. එම කාල ඇතුළත රජය කල්මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. ඊනියා හොඳම පැවතුම්, නිල වශයෙන් අනුමත කිරීම උදෙසා විධිමත් කාර්ය පරිපාටිය අනුගමනය කිරීමේ මුවාවෙන් එම කල්මැරීම රජය කළ හැකිය. අරමුදල් හෝ අනුමැතිය බොහෝ විට ජාත්‍යන්තර ආයතනයකින් හෝ හවුල්කරුවකුගෙන් ලැබෙන්නට ඉඩ තිබෙන අතර ඊට නීත්‍යානුකූල භාවයේ ආවරණයක්ද සැපයෙනු ඇත.
ප්‍රජාවන්ට සහ ක්‍රියාකාරීන්ට උපදෙස් ගැනීම සඳහා ආරාධනා කරනු ඇත. එහෙත් ඔවුන්ගේ නිර්දේශ අවසාන ලේඛනයේ දැකිය හැකි වන්නේ ඉතාමත් විරල ආකාරයෙනි. බොහෝ සැසිවාරයන් කොළඹදී පවත්වන අතර වාර්ගික හා ආගමික බහුතරයේ හා ප්‍රභූවරුන්ගේ හඬ එහිදී ආධිපත්‍ය දරනු ඇත. ඒ අතරතුර සෑම ජාත්‍යන්තර වේදිකාවකම මානව හිමිකම් හෝ පශ්චාත් යුද වගවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියෝගයට ලක්වනු ඇත. 
සංහිඳියාවට ඇති කැපවීම සනාථ කර පෙන්වනු පිණිස ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම් වෙත රජය ඇඟිල්ල දිගු කරන අතර සුළුතර ජනතාවට එල්ල වන ප්‍රචණ්ඩතා සහ මර්දනය කිරීම් පරීක්‍ෂාවට ලක් නොකර යට ගසනු ඇත. මෙය සංහිඳියාව නොවේ. එය සීමා පැනවීමයි.

 

සංහිඳියාව පිළිබඳ බලෙන් …පටවන කතාවට එරෙහිව

සංහිඳියාව අරමුණක් ලෙස තබාගත් විට, එම අරමුණ කවුරු නිර්වචනය කරන්නේද යන්න විමසනු වටී. 
බලෙන් පැටවූ සංහිඳියාවේ භාවිතය බහුතරයේ බලධාරීන්ට පිළිගත හැක්කකි. නැතහොත් බහුතර බලයෙන් ශක්තිමත් වූවකි. එය තුවාල සුවපත් කිරීමක් නොව තුවාල සිදුවූ බව පිළිගැනීමට පෙර මැහුම් දමා වැසීමකි. එය මේ වනවිටත් තීරණය කර ඇති අනාගතයක් ප්‍රකාශයට පත් කිරීමකි. විකල්පයක් පිළිබඳ කීමට උත්සාහ දැරීම එහිදී පිළිනොගත හැකිය.
සංහිඳියාව රජය රාමුගත කර ඇති ආකාරයට, යුක්තිය පිළිබඳ වූවක් හෝ අන්‍යෝන්‍ය ගෞරවය හෝ නිදහස සම්බන්ධ වූවක් නොවේ. එය කිසිවිට දමිළ දේශපාලන අනන්‍යතාව, ස්වයංපාලනය හා සමානාත්මතාව පිළිනොගත් මිලිටරිකරණය වූ සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙත ස්වීකරණය වීම පිළිබඳ කාරණයකි. 
ගැටුම නිමාවට පත් නොවී නැවත සන්නාමගතකරණයවීම පමණක් වූ කල පශ්චාත් යුද කටයුතුවලදී සංහිඳියාව යන්න පෙර නිමි භාෂාවෙන් සටහන් කර තැබිය නොහැකිය. භූමිය මිලිටරිකරණය වී පවතින විට, යුක්තිය ප්‍රතික්‍ෂේප කර තිබෙන විට සත්‍යය මිහිදන් කර තිබෙන විට සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඵල රහිත භාවයට පත්වනවා පමණක් නොව එය බලෙන් නම්මා ගැනීමක් බවට ද පත්වේ. 
දමිළ දේශපාලන ව්‍යාපාරවල මූලාරම්භයේ පටන්ම, කිසි විටෙක දමිළ ජනතාවගේ ඉල්ලීම් සංහිඳියාව වූයේ නැත. (නිරන්තරයෙන් ඒ පිළිබඳ ආසාවෙන් පසුව වුවද) ඉල්ලීම් වූයේ විමුක්තියයි. සමානාත්මතාවයයි. දමිළ ආණ්ඩු ක්‍රමය අනෙකුත් ප්‍රජාවන් හා රාජ්‍යයන් සමඟ කෙසේ කටයුතුවල නියැළෙන්නේ ද යන්න තීරණය කිරීමට ඇති නිදහසයි.
සැබෑ ශක්තිධාරාවක් සංහිඳියාව කරා යොමු කළ යුතුය. ඒවා පහත සඳහන් කාරණා වෙත නැවත යොමු කළ යුතුවේ.
පළාත් සභා මැතිවරණ පැවැත්වීම හා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පූර්ණ බලතල (පොලිස් සහ ඉඩම් බලතලද ඇතුළුව) එම සභාවලට පැවරිය යුතුය.
● උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා යෙදවීමේ ඉවත කොට දැමීම 
● රාජ්‍ය හා ආගමික ආයතන ඉඩම් අල්ලා ගැනීම නවතා දැමීම 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම 
● සමූහ මිනීවළවල්වලින් මතුවන ඇටකටු හඳුනාගැනීම සහ ඔවුන්ගේ පවුල්වලට භාරදීම හා ඔවුන් මියගිය අයුරු පිළිබඳ විමර්ශන පැවැත්වීම 
● යුද අපරාධවලට වගකිවයුත්තන් පිළිබඳ විමර්ශන කර නඩු පැවරීම හා තවමත් ජීවතුන් අතර සිටින රාජ්‍ය ප්‍රධානීන් හා මිලිටරි අණ දෙන්නන් සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග ගැනීම 
● අනුස්මරණ කිරීම් මැඩපැවැත්වීම හා ඒවා පිළිබඳ පරීක්‍ෂා කිරීම ක්‍රියාකාරී ලෙස තහනම් කිරීම 
● අතුරුදන්වීම් පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ පවුල්වලට සත්‍ය පැවසීම
අලුත් ප්‍රතිපත්ති සැලසුම්වලට මෙම ක්‍රියාකාරකම් අවශ්‍යවේ. මේ සඳහා අවශ්‍යවන්නේ මූලික සදාචාරය හා දේශපාලන කැමැත්ත හා හැකියාවයි. 
ශ්‍රී ලංකාවේ සාමය හා මානව හිමිකම් පිළිබඳව උනන්දුවන කවරකු හෝ අවසාන වශයෙන් සංහිඳියා නියම කිරීම් නවතා දැමිය යුතුය. 
සංහිඳියාව යන්න ඉටු කළ නොහැකි මානයේ පවතින්නක් නම් එය පැනවීම හෝ කලින් තීරණය කළ නොහැකිය. ඒවා ආණ්ඩුවලින් හෝ ගෝලීය සංවිධානවල ආධිපත්‍යයෙන් පවත්වා ගැනීම හෝ ඒවා භාරයේ පවත්වාගැනීම කළ නොහැකිය. එය ඉල්ලා සිටිය හැක්කේ මනුෂ්‍යත්වයෙන් හා ප්‍රතිසංස්කරණ උදෙසා වූ කැපවීම එළිපිට ප්‍රදර්ශනය කිරීමෙනි. එය නිදහසේ, තනි තනි පුද්ගලයන්ට ලබාදිය යුතුය. ප්‍රචණ්ඩතාව සහ උල්ලංඝනය කිරීම් අත්විඳි උදවියට ඔවුන් සූදානම්ව සිටින විට එය ලබාදිය යුතුය. 
ඒ අතර කාලයේ පවතින, ඊනියා සංහිඳියා ප්‍රතිපත්ති, පෙනෙන අයුරින්ම සදාචාරාත්මක නොවූ පිළිගත නොහැකි, ඵලදායී නොවූවකි.


2025 අගෝ. 25 Daily FT පළවූ J. නවරත්නම් ලියූ, 
Against National Policy on Reconciliation: 
Tamil Perspective 
ලිපියේ පර්වර්තනය -
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

සංහිඳියා - සහජීවන ජාතික ප්‍රතිපත්තිය ඵලදායිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site