
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 07 කොටස
කොටස් නිකුතුවෙන් රැස්කර ගන්නා අරමුදල් භාවිතය
සමාගමක් කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත වන්නේ මූලිකවම තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විකල්ප අරමුදල් සම්පාදන මාර්ගයක් සපයා ගැනීමේ අරමුණෙනි. ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම යනු නව ශාඛා හෝ කර්මාන්තශාලා විවෘත කිරීම, නව වෙළෙඳපොළවල් සොයා යාම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, නව තාක්ෂණය හෝ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීම වැනි අරමුණුය. ඊට අමතරව සමාගමේ වෙනත් අරමුණුත් පැවතිය හැකිය. උදාහරණ ලෙස සමාගමක් ණය ආපසු ගෙවීම් සඳහා කොටස් නිකුතුවක් හරහා ප්‍රාග්ධන රැස්කර ගැනීමට තීරණය කළ හැකිය. සමහර සමාගම් තම ව්‍යාපාර කටයුතු සඳහා ඉහළ පොලී අනුපාත යටතේ ණය හෝ බැඳුම්කර මිලදී ගෙන තිබේ නම් එය සමාගමේ ලාභදායීත්වයට බලපානු ඇත. ඒ අනුව වැඩි වශයෙන් ණය මත කටයුතු කරන සමාගමක් පොලී ගෙවීම් අඩු කර සිය ලාභදායීත්වය වැඩි කර ගැනීමේ අරමුණින් කොටස් නිකුත් කර ලැබෙන අරමුදල් යොදවා ණය පියවා දැමීමට කටයුතු කරයි.
උදාහරණ ලෙස විශාල බැංකු ණය ඇති සමාගමක්, තම ශේෂ පත්‍රය ශක්තිමත් කිරීම සඳහා එම ණය ගෙවීමට තීරණය කළ හැකිය. තවත් සමහර සමාගම් සැපයුම්කරුවන්, සේවකයන්ට ගෙවීම් කිරීම හෝ ගබඩා කළමනාකරණය වැනි දිනපතා මෙහෙයුම් වැනි තම එදිනෙදා අවශ්‍යතා (operational liquidity සඳහාද මූලික කොටස් නිකුතුවක් හරහා සම්පාදනය කර ගන්නා අරමුදල් වලින් කොටසක් වෙන් කරනු ලැබිය හැකිය. අත්පත් කර ගැනීම් සහ උපායමාර්ගික ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා වෙනත් ව්‍යාපාර මිලදී ගැනීම හෝ ඒකාබද්ධ ව්‍යාපාර පිහිටුවීම සඳහාද එසේ IPO හරහා රැස්කර ගන්නා මුදල් භාවිත කළ හැකිය. සංස්ථා ප්‍රකාශයක ඇතුළත් මෙවැනි කරුණු කෙරෙහිද ආයෝජකයන් තම අවධානය යොමු කරන්නේ නම් කොටස් නිකුතු සමාගම පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව කොටස් මිලදී ගැනීමට ආයෝජකයාට හැකියාව ලැබේ.
කොටස් සඳහා අයදුම් කිරීම
කොටස් සඳහා අයදුම් කිරීම පිළිබඳව අප පසුගිය ලිපියෙන්ද කෙටි විස්තරයක් ඉදිරිපත් කළෙමු. සංස්ථා ප්‍රකාශයෙහි නව කොටස් සඳහා අයදුම් කරන ආකාරය පැහැදිලිව දක්වා ඇත. භෞතිකව අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන් අයදුම්පත බාගත කර, මුද්‍රණය කර අදාළ උපකාරක ලියකියවිලි සමඟ භෞතිකව භාරදීම හරහා ඉදිරිපත් කළ යුතුය. CDS ජංගම යෙදුමෙහි ලියාපදිංචි වී ඇති අයදුම්කරුවන් එම ජංගම යෙදුමේ දක්වා ඇති උපදෙස් අනුගමනය කර අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව CDS වෙබ් ද්වාරය භාවිත කරන ආයෝජකයන්ට https://ipo.cse.lk/ හෝ www.cds.lk හෝ https://www.linkedin.com/company/cds-srilanka හරහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. CDS eConnect පහසුකමෙහි ලියාපදිංචි වී ඇති CDS eConnect ආයතනික ආයෝජකයන්ටද ඔවුන්ගේ ලියාපදිංචි CDS eConnect පහසුකම හරහා IPO සඳහා අයදුම් කිරීමට අවසර ඇත. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණක් නම් අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ වලංගු CDS ගිණුමක් තිබේ නම් පමණක් කොටස් වෙන් කිරීමක් සිදු කරනු ලබන බවයි.
කොටස් අයදුම්පත් සමඟ මුදල් ගෙවීම
ඉල්ලුම් කරන ලද කොටස්වල මුළු වටිනාකම සඳහා සම්පූර්ණ ගෙවීම චෙක්පතක් හෝ බැංකු අණකර හෝ බැංකු ඇපකර මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා ඉදිරිපත් කළ හැකිය. ගෙවිය යුතු මුදල ගණනය කළ යුත්තේ, යම් කාණ්ඩයක් යටතේ ඉල්ලුම් කරන ලද කොටස් ගණන, කොටස් නිකුතු මිලෙන් ගුණ කිරීමෙනි.
ගෙවීම් ක්‍රමයක් ලෙස බැංකු ඇපකර අදාළ වන්නේ භෞතිකව අයදුම් කරන අයදුම්කරුවන් සඳහා පමණි. ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් බැංකු ඇපකර නිකුත් කළ හැකිය. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික මුදල් පැවරීම (CEFT) හෝ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) හරහා මුදල් ගෙවීමට නේවාසික ශ්‍රී ලාංකික ආයෝජකයන්ට හැකියාව ඇත. CEFT/SLIPS මුදල් යොමු කිරීම් භාවිත කළ හැක්කේ CSE ජංගම යෙදුම සහ CDS වෙබ් ද්වාරය හරහා කරන ලද අයදුම්පත් සඳහා පමණි. CEFT/SLIPS හුවමාරු කිරීම් සඳහා ගෙවීම් යොමුව ලෙස අයදුම්කරුවන් තම CDS ගිණුම් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කළ යුතුය. ඉහත සඳහන් කළ පරිදි ගෙවීම් නොමැතිව අරමුදල් පැවරීම් තහවුරු කිරීම් සමඟ ඇති ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මෙහිදී වැදගත් කරුණක් වන්නේ, CEFT, SLIPS ක්‍රම හරහා මුදල් යොමු කිරීම් සිදු කරන විට, ගෙවීම් හඳුනා ගැනීම සඳහා අයදුම්කරුගේ CDS ගිණුම් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට වග බලා ගැනීමයි. එවැනි හඳුනාගැනීමේ තොරතුරු සපයා නොමැති නම්, අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය.
අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම
සංස්ථා ප්‍රකාශයෙහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුකූල නොවන සහ/හෝ අසම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇත්නම් සමාගමේ / කළමනාකරුවන්ගේ / රෙජිස්ට්‍රාර්වරුන්ගේ පරම අභිමතය පරිදි එකී අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
නිෂ්කාශනය සඳහා බැංකුවට ඉදිරිපත් කළ දින සිට වෙළෙඳපොළ දින දෙකක් (02) ඇතුළත චෙක්පත් සාක්ෂාත් කර නොගන්නේ නම්, අයදුම්පත් ප්‍රතික්ෂේප කර මුදල් ආපසු ලබා දීමට අධ්‍යක්ෂවරුන්ට අයිතිය ඇත. එවැනි අයදුම්කරුවන්ට කොටස් වෙන් කිරීමක් සිදු නොකෙරේ.
ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය (ජාතික හැඳුනුම්පත නොමැති විට) හෝ සමාගම් ලියාපදිංචි අංකය ලබා නොදෙන ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අවශ්‍ය ගෙවීම් යොමු කිරීම් නොමැතිව අරමුදල් යොමු කිරීම් තහවුරු කිරීම් සමඟ ඇති ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ගෙවිය යුතු මුදල සහ චෙක්පතේ/බැංකු අණකර හෝ බැංකු ඇපකරයේ දක්වා ඇති මුදල අතර විෂමතාවක් තිබේ නම්, අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.
නිකුත් කිරීමේ අවසන් දිනයේ දේශීය වේලාවෙන් පස්වරු 4.30 න් පසු අතින් හෝ කුරියර් මගින් භාර දෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිකුත් කිරීමේ අවසන් දිනට පසු ඊළඟ වෙළෙඳපොළ දිනයේ දේශීය වේලාවෙන් පස්වරු 4.30න් පසු එකතු කිරීමේ ස්ථාන හරහා කුරියර් / තැපෑලෙන් ලැබෙන අයදුම්පත්, අවසන් දිනයට පෙර කුරියර් පිළිගැනීමේ දිනයක් / තැපැල් සලකුණු දිනයක් තිබුණත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එසේම අයදුම් කළ යුතු අවම කොටස් සංඛ්‍යාව සඳහන් නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. උදාහරණ ලෙස අවමය කොටස් දහසකට අඩු (1,000ට අඩු), කොටස් සියයේ (100) ගුණාකාර නොවන සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම් කරන ලද අයදුම් පත්‍රද ප්‍රතික්ෂේප කරනු ලබයි.
CDS ගිණුම් අංකයක් නොමැති අයදුම්පතක්, හෝ දායකත්ව ලයිස්තුව වසා දැමීමේදී විවෘත නොකළ CDS ගිණුම් අංකයක් (වසා දැමීමට නියම කර ඇති වේලාවේදී හෝ පිරිනැමීම දායක වූ දිනයේ) සඳහන් කර ඇති අයදුම්පතක්, නැතහොත් සාවද්‍ය/වැරදි CDS ගිණුම් අංකයක් සඳහන් අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලබන අතර කොටස් වෙන් කිරීමක් සිදු නොකෙරේ. ආන්තික වෙළෙඳ ගිණුම් සම්බන්ධයෙන් හැර, ඔවුන්ගේම CDS ගිණුම් අංක වෙනුවට තෙවන පාර්ශවීය CDS ගිණුම් සඳහන් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අයදුම්කරුවන් එක් අයදුම්කරු කාණ්ඩයක් හරහා පමණක් අයදුම් කළ යුතු අතර එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කිරීමට අවසර දෙනු ලැබේ. එකම අයදුම්කරු විසින් එකම කාණ්ඩය යටතේ හෝ විවිධ කාණ්ඩ යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත් දෙකක් හෝ වැඩි ගණනක් බහු අයදුම්පත් ලෙස සලකනු ලබන අතර ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබේ. වැරදි ලෙස වර්ණ ගැන්වූ අයදුම්පත් භාවිත කරමින් අදාළ අයදුම්කරු කාණ්ඩය යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. බහු අයදුම්පත් සහ සැක සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සමාගම සතුය.
කොටස් ‘අගුලු දමා’ තබා ගැනීම
අයදුම්කරුවන්ට අවශ්‍ය නම් තම කොටස් අගුලු දමා තබා ගැනීමේ පහසුකමක් මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් සලසා ඇත. මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් සෑම CDS ගිණුමක් සඳහාම ශේෂ දෙකක් පවත්වාගෙන යයි, එනම් ‘ගනුදෙනු‘ ශේෂයක් සහ ‘අගුලු දැමූ‘ ශේෂයක් වශයෙනි. ගනුදෙනු ශේෂය CDS සහභාගිවන්නාට දෘශ්‍යමාන වන අතර සාමාන්‍යයෙන් සිදු වන පරිදි එම ගනුදෙනු ශේෂය මත සියලුම ගනුදෙනු කිරීමට අවසර දෙනු ලැබේ. ‘අගුලු දමා ඇති’ කොටස්, ගනුදෙනු අරමුණු සඳහා ලබා ගත නොහැකි අතර සහභාගිවන්නාට දෘශ්‍යමාන නොවේ. එවැනි අයදුම්කරුවන් මේ සඳහා අයදුම් පත්‍රයේ අදාළ කොටස පිරවිය යුතුය. CDS හි ‘අගුලු දැමූ‘ ශේෂයක් ක්‍රියාත්මක කිරීම කොටස් හිමියන්ගේ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සහ සුරැකුම්පත් ගනුදෙනු කිරීමට අකමැති කොටස් හිමියන්ට පහසුකම් සැලසීමක් වශයෙන් භවිතා කළ හැකි යාන්ත්‍රණයක් සපයයි.
මතු සම්බන්ධයි.
සංස්ථා ප්‍රකාශයක ඇත්තේ මොනවාද?