IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා හිඟයක්

 

  • ඉදිරි දශකයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන් බිලියන 1.2 වැඩකරන වයසට
  • උදාවනු ඇතැයි අපේක්ෂා කරන්නේ නව රැකියා මිලියන 420 ක් පමණයි
  • පියවර තුනක් යටතේ පරතරය අඩුකර ගැනීමට ලෝක බැංකු සමූහයේ අපේක්ෂාවක්
  • ව්‍යාපාර පුළුල් කිරීමට සහ ශ්‍රම ඉල්ලු‍ම වැඩි කිරීමට පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය ඉහළ දැමීමට බලාපොරොත්තුවක්
  • මෙරට ශ්‍රම බළකායට සහභාගී නොවන පිරිස 8,570,857 ක්
  • වයස අවුරුදු 15 සහ 15ට වැඩි පිරිමි පුද්ගලයන් ගණන 7,905,930ක් වන අතර ඉන් 5,538,301ක් ශ්‍රම බළකායට
  • මෙරට වැඩකරන වයසේ සිටින පිරිමි පුද්ගලයන් 2,367,630 ක්ශ්‍රම බළකායට 
  • සහභාගී වන්නේ නෑ

විමුක්ති එස් රුද්‍රිගු


ඉදිරි දශකයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන් බිලියන 1.2 වැඩකරන වයසට එළැඹෙනු ඇති නමුත්, එම කාලයේදී උදාවනු ඇතැයි අපේක්ෂා කරන්නේ නව රැකියා මිලියන 420 ක් පමණ බව ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය ප්‍රකාශ කළේය.

එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩකරන වයසට එළැඹෙන තරුණ තරුණියන් සඳහා තවත් රැකියා අවස්ථා මිලියන 780 ක් පමණ අවශ්‍ය වනු ඇති බවත්, පියවර තුනක් යටතේ මෙම පරතරය අඩුකර ගැනීමට ලෝක බැංකු සමූහය අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය පැවැසුවේය. ලෝක බැංකුවේ වැඩසටහන් ඔස්සේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මූලික සේවා ආයෝජනය කිරීමෙන් නව රැකියා අවස්ථා ඇති කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පදනම පුළුල් කිරීමට බලාපොරත්තු වන බවද එම ආයතනය ප්‍රකාශ කළේය.

එසේම ව්‍යාපාරවලට පුළුල්වීමට අවශ්‍ය නියාමන පරිසරයක් නිර්මාණය කිරීමට රජයන් සමග එකතු වී කටයුතු කිරීමට ලෝක බැංකුව බලාපොරත්තු වන බවත්, ව්‍යාපාර පුළුල් කිරීමට සහ ශ්‍රම ඉල්ලු‍ම වැඩි කිරීමට පුද්ගලික අංශයේ ප්‍රාග්ධනය ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය පැවැසුවේය.

රැකියාවක් යනු හුදෙක් ආදායම් මාර්ගයක් නොවන බවත්, රැකියාවක් යනු ආදායම් මාර්ගයකට වඩා ජීවිතයට ගෞරවයක් සහ අරමුණක් ලබා දෙන දෙයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය ප්‍රකාශ කළේය. නව රැකියා අවස්ථා ඇතිකිරීම යනු රටක දුප්පත්කම නැති කිරීමට සහ සමෘද්ධිය ඇති කිරීමට වඩාත් වඩාත් ඵලදායී ක්‍රමවලින් එකක් බවත්, නව රැකියා අවස්ථා ඇති කිරීම, ස්වයංපෝෂිත ආර්ථිකයන් සහ ශක්තිමත් ශ්‍රම බළකා ගොඩනැගීමට උපකාරී වන බවත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය පැවැසුවේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 සහ 15ට වැඩි ජනගහනය 17,032,793 ක් වන අතර, ඉන් 8,461,936 ක් මෙරට ශ්‍රම බළකායට සහභාගීත්වය ලබාදේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 49.7 කි. ඒ අතුරින් 8,139,605 ක් රැකියාවල නිරත වන අතර 322,331 ක පිරිසක් රැකියා නොමැතිව සිටී.

රැකියාවක් කරන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 96.2 ක් වන අතර, රැකියාවක් නොකරන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 3.8 කි. එසේම මෙරට ශ්‍රම බළකායට සහභාගී නොවන පිරිස 8,570,857 කි.

මෙරට සිටින වයස අවුරුදු 15 සහ 15ට වැඩි පිරිමි පුද්ගලයන් ගණන 7,905,930ක් වන අතර, ඉන් 5,538,301ක් ශ්‍රම බළකායට සහභාගී වේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 70.1 කි. ශ්‍රම බළකායට සහභාගී වන සියයට 70.1 ක ප්‍රතිශතයෙන් 5,399,400 ක් රැකියාවල නිරතවන අතර තවත් 138,901 රැකියා නොමැතිව සිටී.

කෙසේ නමුත් මෙරට වැඩකරන වයසේ සිටින පිරිමි පුද්ගලයන් 2,367,630 ක් ශ්‍රම බළකායට සහභාගී නොවේ.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 සහ 15ට වැඩි ස්ත්‍රීන් ගණන 9,126,863 ක් වන අතර ඉන් 2,923,635 ක් මෙරට ශ්‍රම බළකායට සහභාගීත්වය ලබාදේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32කි. මෙරට ශ්‍රම බළකායට සහභාගී වන කාන්තාවන් 2,923,635 න් 2,740,205 ක් රැකියාවල නිරත වන අතර 183,430ක් රැකියාවල නිරත වන්නේ නැත.

වැඩකරන වයසේ සිටින මෙරට කාන්තාවන් 6,203,228 ක් ශ්‍රම බළකායට සහභාගීත්වය ලබා නොදෙන බවද ජන හා සංඛ්‍යා ලේඛන දත්ත වාර්තාවල සඳහන් වේ.



අදහස් (0)

සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site