IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සමාජ සුබසාධන වියදම් කොයිබටද ?

සුබසාධන ආර්ථිකය ප්‍රවේශය තුළ මූලික වශයෙන්ම උත්සාහ කරනුයේ අවම මූලික ජීවන තත්වයක් සෑම පුරවැසියකුටම සහතිකකිරීම සහ සමාජයක ආදායම් බෙදීයාමේ විෂමතාව පහළ මට්ටමකින් පවත්වාගෙනයාම සඳහා විවිධ වූ රාජ්‍ය වැඩසටහන්/මැදිහත්වීම් කිරීම වේ. මේ සඳහා විවිධ වූ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන අතර එම ආයතන මගින් විවිධ වූ වැඩසටහන්/මැදිහත්වීම් ක්‍රියාත්මක කරනු ලබයි. ඇතැම් වැඩසටහන් මගින් සමාජ ආරක්ෂණය මුල් කරගනිමින් මුදල් වශයෙන් අදාළ දීමනා ලබාදෙයි. අස්වැසුම, ගොවීන් සඳහා වූ සහනාධාර, වැඩිහිටි දීමනා සහ ආබාධිත දීමනා මේ සඳහා උදාහරණ වේ. 
තවත් සමාජ සුබසාධන වියදම් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා නොමිලේ ලබාදීමෙන් සිදුකෙරේ. එසේම, රැකියා වෙළෙඳපොළේ රජයේ අවම වැටුප් සහ රජයේ රැකියා සඳහා බදවා ගැනීම් වැනි දෑ මගින් ද රජය සමාජ සුබසාධනයට මැදිහත් වන අවස්ථා ද පවතින අතර සමාජ රක්ෂණ වැනි මැදිහත් වීම ද කරනු ලබන අවස්ථා පවතී. සමාජ සුබසාධනයට කරනු ලබන වියදම් බොහෝ අවස්ථාවලදී මැතිවරණ පොරොන්දු වශයෙන් ඉදිරිපත් කරනු ලබන අතර බලයට පත්වන ආණ්ඩු විසින් තම වාර්ෂික අයවැය ලේඛනවල එවැනි වැඩසටහන් ආරම්භ කිරීම මෙන්ම පවතින සුබසාධන වැඩසටහන්වලට අදාළව වියදම් ඉහළනැංවීම ද සිදුකරනු ලබයි. 
මෙම ලිපියේ අරමුණ වන්නේ 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය තුළ සමාජ සුබසාධනයට අදාළව අලු‍තින් යෝජනා කර ඇති වැඩසටහන් මොනවාද යන්න මෙන්ම දැනටමත් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන්වලට අදාළව කර ඇති යෝජනා මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වේ. ඊට පසුබිමක් සපයනු වස් නිදහසින් පසුව සමාජ සුබසාධනයට අදාළව විවිධ ආණ්ඩු හඳුන්වාදුන් වැඩසටහන් පිළිබදව කෙටි විවරණයක් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. අවසාන වශයෙන්, සුබසාධන වියදම් රාජ්‍ය මූල්‍යයට කරනු ලබන බලපෑම පිළිබඳව ද අවධානය යොමු කෙරේ. 

 

සමාජ සුබසාධනයට 2026 අයවැයේ ඇති යෝජනා
සමාජ සුබසාධන වියදම් අංශයට අදාළව ඉදිරිපත් කර ඇති එක් යෝජනාවක් වනුයේ සෑබෑ ලෙසම දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් කවුරුන් ද යන්න විමසා බැලීම සඳහා දැනට අස්වැසුම ලබන පිරිසට අදාළව සමාලෝචනයක් 2026 වසර තුළ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බවයි. බොහෝ පර්යේෂණ අධ්‍යයනවල සොයාගැනීම්වලට අනුව අස්වැසුම වැඩසටහනට යටතේ සැලකිය යුතු පිරිසක් ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු වුවත් වර්තමානයේ දී ප්‍රතිලාභ ලබමින් සිටී. එමෙන්ම, ප්‍රතිලාභ ලැබීමට සත්‍ය වශයෙන්ම සුදුසුකම් ඇතත් මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ නොලබන පිරිස ද ඉහළ අගයක් ගනී. එබැවින් ඉහත සමාලෝචනය යටතේ පෙර කී තත්වය වළක්වා ගැනීමට පියවර ගැනීම කාලෝචිත වේ.
 2010 වසර වන විට පවුල් මිලියන 1.6ක් සමෘද්ධිය ලබමින් සිට අතර 2019 වනවිට සමෘද්ධිය ප්‍රතිලාභ ලබන්නන්ගේ පවුල් සංඛ්‍යාව මිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබුණි. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව මිලයන 2.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 වර්ෂයේ දී අස්වැසුම සඳහා රුපියල් බිලියන 237 පමණ මුදලක් වෙන්කර ඇත. අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපනික සංවර්ධනය ඉලක්ක කර යෝජනා කීපයක් මෙවර අයවැයේ අඩංගු වේ. ඒ අතර, මහපොළ සහ ශිෂ්‍යාධාර ඉහළනැංවීම අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල්වල පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් මිලට ගැනීමට රජය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇත. එක් දරුවකුට වසරකට රුපියල් 6,000 ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9,000ක් වෙන්කර ඇත. ඉහත යෝජනා අතරින් පහළ ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට මූල්‍ය පහසුකම් සැපයීම එක් පැත්තකින් අධ්‍යාපනික සංවර්ධනයට හේතු වන්නකි. අනෙක් අතින් ග්‍රාමීය මට්ටමේ දී ඩිජිටල් සේවා සඳහා ඉල්ලු‍මක් ජනිත කිරීමට ද හේතු වේ. 
එවන් සහනාධාර ලබාදීමකින් ඩිජිටල් තාක්ෂණයට අදාළ සැපයුම් තත්වය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද වැඩි දියුණු කිරිමේ හැකියාව පවතී. ආබාධිත ප්‍රජාවගේ සුබසාධනය සහ අධ්‍යාපන පහසුකම් නංවාලීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමුව ඇත. එමෙන්ම අබාධිත පුද්ගලයන් සහ පවතින ආර්ථික අවස්ථා පුළුල් කිරීමට ද අවධානය යොමුව ඇත. එමෙන්ම රජය විසින් අඩු ආදායම්ලාභී සහ දැනට අවදානම් ස්ථානවල ජීවත්වන පිරිස් සඳහා නිවාස පහසුකම් ඇති කිරීමට ද අවධානය යොමු කර ඇති බවක් පෙනී යයි. 
ප්‍රජා ශක්ති නමින් 2025 වර්ෂයේ දී අරම්භකරන ලද වැඩසටහන සදහා 2026 වසරේ රුපියල් මිලියන 4,250 ක මුදලක් වෙන් කර ඇත. ඉතිහාසය පුරා දුප්පතුන්ගේ ජන ජීවිතය නගාසිටුවීම අරමුණ යැයි පවසමින් විවිධ වැඩසටහන් දියත් කළද පවතින අත්දැකීම වනුයේ එවැනි වැඩසටහන් මගින් එවායේ, ප්‍රකාශිත අරමුණ ජයගන්නවා වෙනුවට දේශපාලන පක්ෂවල බලය රැකගැනීමට ඒවා ඉවහල් වූ බවයි. ප්‍රජා ශක්ති ව්‍යාපාරය එවැනි ව්‍යාපාරයක් නොවනු ඇතයි අපේක්ෂා කරමු. 
අවසාන වශයෙන් මෙවර අයවැයේ පවතින තවත් සමාජ සුබසාධන යෝජනාවක් වන්නේ ප්‍රධාන වතු සමාගම් විසින් කම්කරු ශ්‍රේණියේ සේවයේ යොදවා ඇති ශ්‍රමිකයන්ට රජය දෛනිකව රුපියල් 200 ක පැමිණිමේ දිරිදීමනාවක් ලබාදීමට තීරණය කිරීම වේ. මේ සඳහා 2026 වර්ෂය සඳහා වූ අයවැයේ රුපියල් මිලයන 5,000 ක මුදලක් වෙන්කර ඇත. මෙම සුබසාධන වියදම සාධක කීපයක් නිසා අයහපත් වූවකි. පළමුව මහා පරිමාණ වතු සමාගම් සියල්ලක්ම රුපියල් මිලියන ගණනින් ලාබ ලබන ඒවා වේ. එවන් තත්වයක් යටතේ එවැනි ආයතනවල සේවය කරනු ලබන ශ්‍රමිකයන්ට දෛනික දිරිදීමනා ගෙවීමට බදු ගෙවන්නන්ගේ මුදල් භාවීත කිරීම කොතරම් යුක්තිසහගත වන්නේ ද යන්න විමසා බැලිය යුතුය. එදිනෙදා භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවා සඳහා ද ඉහළ වැටි බදු අනුපාත යොදාගනිමින් මෙරට සාමාන්‍ය පුද්ගලයන්ගේ බදු මුදල් මහා පරිමාණ ආයතනවලට වාසිසහගත වන ලෙස වැය කිරීම යුක්ති සහගත නොවේ. යම් හෙයකින් වතු ප්‍රජාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමට මැදිහත් වීම අවශ්‍ය වන්නේ නම් එවැන්නක් දැනට ක්‍රියාත්මක වන අස්වැසුම හෝ ප්‍රජාශක්ති වැඩසටහන් හරහා කළ හැකිව පැවතිණි. එපමණක් නොව වතුකරයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් නැංවීමට අවධානය යොමු කළයුතුව තිබුණි. 
මහා පරිමාණ වතු සමාගම්වල සේවය කරනු ලබන කම්කරුවන්ට ගෙවීමට රජය වෙන්කර ඇති මුදල එම වතු සමාගම් විසින් රජයට වාර්ෂිකව ගෙවනු ලබන බදු ප්‍රමාණය තරම් වූ මුදලක් බව පෙනේ. එසේම, මෙවැනි වෙන්කිරීමක් මැදිකාලීනව සහ දිගුකාලීනව රාජ්‍ය මූල්‍ය විනයට අදාළව ඉතාමත් අහිතකර ප්‍රතිඵල ඇතිවීමට පුළුවන. රජය දැනටමත් මහා පරිමාණ වතු සමාගම්වල කම්කරුවන්ට වැටුප් ගෙවන පාර්ශවකරුවකු වීම නිසා ඉදිරියේ දී කම්කරු වැටුප්වලට අදාළ ඉල්ලීම් සමාගම වෙත නොව රජය වෙත යොමු කිරීමට වෘත්තීය සමිති කටයුතු කරනු ඇත. සමාගම් ද වක්‍රව ඒ සඳහා බලපෑම් කිරීමට ඇති ඉඩකඩ වැඩි වේ. අනෙක් අතට වතුකරයේ මිලියනයක් පමණ වූ ජන්ද පදනම දෙස අවධානය යොමු කිරීමේ දී, බලය ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන දේශපාලන පක්ෂ එකිනෙකට නොදෙවැනිව තරගකාරී ලෙස රජයේ වියදමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට පොරොන්දු ලබාදීම සහ එවැනි පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරනු ඇත. ඒ හේතුවෙන්, මෙම අයවැය යෝජනාව ඉදිරියේ දී සැලකිය යුතු පීඩනයක් රාජ්‍ය අයවැය මත ඇති කරනු ඇත. 
ඉහත යෝජනාවට විකල්පව රජයට වතුකර ප්‍රජාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගත හැකි පියවර කීපයකි. ඉන් එකක් වන්නේ පවත්නා අස්වැසුම වැඩසටහන තුළ විසඳුම් ගෙන ඒම වේ. දෙවනුව, අමතර ආදායම් උත්පාදන අවස්ථා වතුකරය තුළ ඇති කළ හැකිය. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය පදනම් කරගනිමින් එවැනි අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ හැකිය. මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් අධ්‍යාපනය මෙන්ම දැනට පවත්නා නිෂ්පාදන මාදිලිය වෙනස්ම ආකාරයකින් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අවධානය යොමුකළ හැකිය. 2026 අයවැයට අනුව සමාජ ආරක්ෂණයට සහ සුබසාධනයට අදාළව රුපියල් බිලියන 837ත පමණ මුදලක් වෙන්කර ඇත. 

 

රජයක් සුබසාධන වියදම් දරන්නේ මන්ද?
රජයක් විසින් සුබසාධන වියදම් දැරීම යුක්තිසහගත වන කරුණු කීපයක් දැක්විය හැකිය. පළමුව, වෙළෙඳපොළ බිඳවැටීම් පැවතීම රජයක් සුබසාධන වියදම් දැරීමට හේතුවක් වේ. විශේෂයෙන්ම සමාජයට වඩාත් යහපත් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවා වෙළෙඳපොළ ක්‍රමය තුළ සියලු‍ දෙනාටම ලබාගත හැකි මට්ටමකින් සැපැයීමක් සිදුනොවේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මගින් සමාජයට ධනාත්මක බලපෑමක් සිදුවන හෙයින් සියලු‍ දෙනාටම එවැනි සේවා සඳහා අවස්ථා පැවතීම සමාජීය වශයෙන් වඩාත් යහපත් වේ. දෙවනුව, ඉහත සඳහන් කළ පරිදි අදායම් බෙදීයාමේ විෂමතාව පහත හෙළීමට රජයකට පහළ ආදායම්ලාභීන් සඳහා යම් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම දුප්පත්කම තුරන් කිරීම මෙන්ම අවදානම් කණ්ඩායම්  (vulnerable groups)  රැකබලා ගැනීමට රජයකට සුබසාධන වියදම් දැරීමට සිදුවේ. 
තුන්වනුව, සමාජ ස්ථායීතාව පවත්වාගෙන යාම මෙන්ම දේශපාලනික වශයෙන් සුජාතභාවයක් ඇතිකර ගැනීම සඳහාත් සුබසාධන වියදම් දැරිය යුතුවේ. සිව්වනුව, සමාජ ස්ථායීතාව පමණක් නොව සාර්ව ආර්ථීක ස්ථායීතාව පවත්වාගෙන යාමටත් සුබසාධන වියදම් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන්ම ආර්ථික අවපාත අවස්ථාවලදී සමාජ සුබසාධන වියදම් ඉහළනැංවීමෙන් ආර්ථිකයේ සමහාර ඉල්ලු‍ම (aggregate demand) ප්‍රමාණවත් මට්ටමක පවත්වගෙන යාමට උපකාරී වේ. 
පස්වනුව, සමාජ සාධාරණත්වය සහ මානව අයිතිවාසිකම් නිසි පරිදි ආරක්ෂාකිරීම සඳහාත් සමාජ සුබසාධන වියදම් පවත්වාගෙන යාම උපකාරී වේ. විශේෂයෙන්ම සැමට අධ්‍යාපන අයිතිය මෙන්ම සැමට ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබාදීම සහතික කිරීම සඳහා රජයක් සමාජ සුබසාධන වියදම් ප්‍රමාණවත් මට්ටමකින් පවත්වාගෙන යාම වැදගත්ය. හයවනුව, එසේම ව්‍යුහාත්මකව පවත්නා ගැටලු‍ හේතුවෙන් විවිධ සමාජ කණ්ඩායම්වලට අත්ව ඇති අයහපත් තත්වය මගහරවා ගැනීම සඳහාත් සුබසාධන වියදම් දැරිය යුතුවිය හැක. අවසාන වශයෙන්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වෙළෙඳපොළ ලිහිල්කරණ ප්‍රතිපත්ති හේතුවෙන් කෙටිකාලීනව පීඩාවට පත්වන ජන කණ්ඩායම් රැකබලා ගැනීම සඳහාත් සුබසාධන වියදම් දැරෙන අවස්ථා පවතී. 
ඉහතින් දක්වනු ලැබූයේ සමාජ සුබසාධන වියදම් දැරීම යුක්ති සහගත වන අවස්ථා වන අතර මෙහිදී විශේෂයෙන්ම වැදගත්වන අනෙක් සලකා බැලීම වනුයේ පවත්නා රාජ්‍ය මූල්‍ය තත්වය තුළ කුමන වියදම් රටකට දැරිය හැකි ද යන්න විමසා බැලීමය. විශේෂයෙන්ම, සුබසාධන වියදම් දැරීමේ දී එමගින් මධ්‍යකාලීනව මෙන්ම දිගුකාලීනව රාජ්‍ය මූල්‍යයට කරනු ලබන බලපෑම පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එමෙන්ම, ආර්ථිකයේ ශ්‍රම සැපයුමට සහ පලදායීතාවට අදාළව ඇතිකළ හැකි බලපෑම් පිළිබඳව ද සලකා බැලීම වැදගත්ය. විශේෂයෙන්ම, සහනාධාරමත යැපෙන සංස්කෘතියක් ඇතිවීම වළක්වාගත යුතුය. 

 

ලාංකේය සුබසාධන ආර්ථිකයේ විකාශනය
1942 වසරේ ආරම්භ කළ ආහාර සහනාධාර ක්‍රමය මෙරට තුළ මහා පරිමාණ මට්ටමෙන් සමාජ සුබසාධනයේ ආරම්භය සනිටුහන් කළ අතර එතැන් සිට බලයට පත් වූ ආණ්ඩු විසින් විවිධ ජන කණ්ඩායම් ඉලක්ක කරමින් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් දියත් කරන ලදී. ඉන්පසුව, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ලබාදීම ආරම්භ කරන ලදී. ආහාර සහනාධාරය සඳහා සියලු‍ම කුටුම්භ සුදුසුකම් ලද අතර එම සහනාධාර වැඩසටහන ප්‍රධාන වැවිලි බෝග මගින් රජය ලද බදු ආදායම ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මුල් යුගයේ දී රජ්‍ය මූල්‍යයට බරක් නොවිණි. විශේෂයෙන්ම ප්‍රධාන වැවිළි බෝග සඳහා ලෝක වෙළෙඳපොළේ පැවති ඉහළ මිල ගණන් හේතුවෙන් රජයට සුබසාධන වැඩසටහන ගැටලු‍වකින් තොරව පවත්වාගෙන යාමට හැකි විය. 
එහෙත් 1952-1953 වනවිට වැවිළි බෝග සඳහා ගෝලීය වෙළෙඳපොළේ පැවති යහපත් තත්වය අවසන් වීම සහල් මිල විශාල වශයෙන් ඉහළයාම හේතුවෙන් ආහාර සහනාධාරය අයවැයට විශාල බරක් ගෙන ආවේය. ඊට අදාළ රාජ්‍ය මූල්‍ය බර අඩුකරනු වස් ආහාර සහනාධාරය පහත හෙළීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස දීපව්‍යාප්ත හර්තාලයක් දියත් කළේය. ඒ හේතුවෙන් එම සහනාධාරය නොවෙනස්ව 1970 දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ කටයුතු කළහ. 1970 දී ආහාර සහනාධාරය ආදායම් බදු නොගෙවන පිරිසට සීමා කළ අතර 1978 දී ආහාර සහනාධාරය වෙනුවට තෝරාගත් පිරිසක් සඳහා මුද්දර පොත හඳුන්වා දෙන ලදී. මුද්දර පොත් ක්‍රමයේ විවිධ අඩුපාඩුකම් පැවතියත් එම ක්‍රමය 1989 දක්වා ක්‍රියාත්මක වූ අතර එම වර්ෂයේ දී ජනසවිය නමින් දුප්පත්කම පිටුදැකීමේ නව සමාජ සුබසාධන වැඩසටහනක් දියත් කරන ලදී. එහි විශේෂත්වය වූයේ පාරිභෝජනයට මූල්‍ය පහසුකම් සපයන අතරම ස්වයං රැකියා සඳහා දිරිගැන්වීම මෙන්ම ඉතිරිකිරීම් සඳහා යොමු කරවීම ද එම වැඩසටහන තුළ අන්තරගත වීමයි. ජනසවිය වෙනුවට, සමෘර්ධි ව්‍යාපාරය ආරම්භවූ අතර එම වැඩසටහන ජනසවියට වඩා පුළුල් විය. ඒ තුළ පාරිභෝන කටයුතු සඳහා මුදල් ලබාදීමක් මෙන්ම ප්‍රජා සංවර්ධනය  (community development) සහ පුළුල්ව පැතිරුණු සමෘර්ධි බැංකු පද්ධතියක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ප්‍රවර්ධනය ද අරමුණු විය. 2023 වසරේ දී අස්වැසුම වැඩසටහන ආරම්භයත් සමග එතෙක් ක්‍රියාත්මක වූ සමෘර්ධි වැඩසටහන අවසන් විය. නව වැඩසටහන මගින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් ඉලක්ක කර අවශ්‍ය පිරිසට පමණක් රජයේ සහනාධාර ලබදීම අරමුණු කෙරිණි. විශේෂයෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් දත්ත මත පදනම්ව ප්‍රතිලාභීන් තේරීම, මුදල් ආධාර ලබාදීම සහ තොරතුරු යාවත්කාලීන කිරිම අපේක්ෂා කෙරිණි. ගොවි සහනාධාර ක්‍රමය 1962 දී අරම්භ කළ අතර 2005 වසරේ සිට මෑතක් වනතුරු වී ගොවිතැන ඇතුළු අනෙකුත් භෝගවගා සඳහා නොමිලේ පොහොර ලබාදීම සිදුවිය. මීට අමතරව, ආබාධිත දීමනා 2007 වසරේදීත්, වැඩිහිටි දීමනා 2012 වසරේදීත්, වකුගඩු රෝගීන් සඳහා වූ දීමනා 2015 වසරේදීත් ආරම්භ කරන ලදී. 

 

සමාජ සුබසාධනයේ අඳුරු පැතිකඩ
එදා මෙදා තුර ක්‍රියාත්මක වූ සමාජ සුබසාධන වැඩසටහන්වලට අදාළව දැකිය හැකි ලක්ෂණ කීපයක් ඇත. පළමුව, බොහොමයක් සුබසාධන වැඩසටහන් දේශපාලනික වුවමනා වෙනුවෙන් ආරම්භ කළ ඒවා වන අතර ආරම්භක අවස්ථාවේදී එමගින් දිගුකාලීනව රාජ්‍ය මූල්‍යයට සහ ආර්ථිකයට සිදුවන බැලපෑම පිළිබදව සලකා බැලීමක් නොවිණි. දෙවනුව, ඉහත තත්ව හේතුවෙන් ප්‍රතිලාභීන් තෝරා ගැනීම, සහනාධාර ප්‍රමාණය තීරණය කිරීම, සහ අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන සේවක බදවා ගැනීම් දේශපාලනීකරණය වීමක් සිදුවිය. 
තුන්වනුව, දිගුකාලයක් තිස්සේ ඉහත තත්වය පැවතීම හේතුවෙන් සුබසාධනයෙන් යැපෙන පිරිසක් බිහි වූ අතර එම තත්වය ශ්‍රම සැපයුමට සහ ඵලදායීතාවට අහිතකරව බලපාන ලදී. සමාජ සුබසාධන වියදම් පවත්වාගෙන යන ලද්දේ ප්‍රාග්ධන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා වන අරමුදල් ඒ සඳහා යෙදිවීම මගිනි. මේ හේතුවෙන් ප්‍රාග්ධන වියදම් පියවා ගැනීමට අඛණ්ඩව දේශීය සහ විදේශීය මුලාංශ්‍ර මගින් ණය ගැනීමටට සෑම ආණ්ඩුවකටම සිදුවිය. අවසාන වශයෙන් සමහරක් සමාජ සුබසාධන වියදම් (අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි) පහළ මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් ඒවායේ සේවාවල ගුණාත්මකබව අඛණ්ඩව පහළ යන ලදී. උදාහරණයක් ලෙස අද වන විට අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතිය තුළ ලබාදෙන සේවාවල ගුණාත්මකබව පහළයාම නිසා බොහෝ දෙනෙක් විකල්ප අවස්ථා භාවිත කරමින් සිටිති. 

 

නිගමනය
සමාජ සුබසාධන වියදම් වර්තමානය වනවිට රාජ්‍ය අයවැයට දරාගත නොහැකි මට්ටමට ළඟාවී හමාරය. තවදුරටත් එවැනි වියදම් දැරීමට යෝජනා කිරීමේ දී පරිස්සම් විය යුතුය. විශේෂයෙන්ම එවැනි වියදම් දැරීම සඳහා එක්කෝ ප්‍රාග්ධන වියදම් කැපකළ යුතුය. නැතහොත් අමතර ණය ගැනීම් සඳහා එකතු කළ යුතුය. 2026 වර්ෂයට අදාළව අයවැය හිඟය සියයට 5 ඉක්මාවා ඇති තත්වයක් තුළ එවැනි වියදම් පලදායී කේෂ්ත්‍රවල යෙදවීමෙන් අයවැය හිඟය මූල්‍යනයට ලබාගන්නා ණය ගෙවීමේ හැකියාව ඇති කර ගත හැකි වේ. ඒ වෙනුවට දේශපාලනික වශයෙන් ආකර්ෂණිය වන යෝජනා ක්‍රියාත්මක කිරීමට යාම අප තවදුරටත් ණය කරවන්නක් වනු ඇත. 2022 වර්ෂයේ දී ඇති වූ ආර්ථික අර්බුදයේ මූල හේතු 1953 දක්වා දිව යන අතර එදා අප නිවැරදිව සහනාධාර ඉලක්කගත කණ්ඩායමකට පමණක් ලබාදෙමින් රාජ්‍ය මූල්‍ය විනයට මුල් තැන ලබාදීමට කටයුතු කරනු ලැබුයේ නම් දරාගත නොහැකි මට්ටමකට ණය බර ඉහළයාමට තිබූ ඉඩකඩ අවමය. ඉතිහාසයෙන් අප දැන්වත් පාඩම් උගතයුතුය. සමාජ සුබසාධනය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඉතාමත් ආකර්ෂණිය වන අතර දේශපාලන පක්ෂ බලය ලබාගැනීමට සහ බලය පවත්වා ගැනීමට බදු මුදල් තම දේශපාලන ව්‍යාපෘතිවල යොදවනු ලබයි. අවශ්‍ය වන්නේ පවත්නා ආර්ථික යථාර්ථය තුළ කටයුතු කරමින් අත්‍යාවශ්‍ය පිරිසට පමණක් දරාගත හැකි මට්ටමකින් සමාජ සුබසාධනය සඳහා වියදම් කිරීම වේ.



අදහස් (0)

සමාජ සුබසාධන වියදම් කොයිබටද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site