IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ස්ප්‍රිංවැලි බට කූඩ කර්මාන්තය අභාවයට

ඒ කාලෙ කූඩයක් දුන්නේ රුපියල් 8- 10 ක් වගේ මිලකට

දලු නෙළීමට කූඩ වෙනුවට පොලිසැක් උර හෝ හිස් පොහොර බෑග් ආදිය භාවිත කිරීමට පටන් ගත්පසු මේ කර්මාන්තය කළ බොහෝ අය එය නතර කළා

හැමදේම පිටරටින් ගේන පහත් මානසිකත්වය නිසා අපේ රටේ දේවල් නැතිවෙලා යනවා

ලාබදායී ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය කිරීමෙන් නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව ආදායම් අහිමිවෙලා

දහස් ගණනකට ජීවනෝපාය සලසාගත හැකි පරිසර හිතකාමී දේශීය කර්මාන්තයක්


හාලිඇල- විජේරත්න රත්නායක 


ආනයනික ප්ලාස්ටික් භාණ්ඩ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් තේ කර්මාන්තයේදී භාවිතයට ගත් බට කූඩ වෙනුවට පොලිසැක් මලු ඇතුළු වෙනත් විකල්ප නිපයුම් භාවිතයට යොමුවීමත් සමඟ මෙතෙක් කලක් බට කූඩ කර්මාන්තයෙන් ජීවනෝපාය සලසාගත් පවුල් රාශියකට සිය ජීවනෝපාය අත්හැරීමට සිදුවූ බව හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ බට කර්මාන්තකරුවෝ පවසති. කිසිදු පාරිසරික හානියකින් තොර මෙම දේශීය කර්මාන්තය රැක ගැනීමට රජයේ අවධානය යොමුවිය යුතු බවත් බට කර්මාන්තකරුවෝ පවසති.

දැනට වසර 75 කට පමණ ඉහත තේ කර්මාන්තයේදී නෙළන ලද දලු රැගෙන යාමට වැනි අවශ්‍යතා රැසක් සඳහා යොදාගත් කූඩ තට්ටු ඇතුළු උපකරණ නිපදවීමට භාවිත කෙරුණේ කැළෑවලින් කපාගත් බටදඬුය.  විශේෂයෙන් වතු ආශ්‍රිත ගම්මානවල පවුල් සිය ගණනකගේ ජීවනෝපාය වූයේ බට කූඩ නිපදවීමයි. දලු කූඩ දලු කිරන තට්ටු මෙන්ම එළවළු හා පලතුරු කූඩ පස් කූඩ වැලි කූඩල බට පැලැලිල බුලත් තට්ටුල වී පෙට්ටි ඉල්ලම් කූඩ කුලුල කෑම වසුන්ල පැළ ආවරණ ආදිය ඔවුන්ගේ ප්‍රධානම නිපයුම් වී තිබිණි. ඊට අමතරව මල් පෝච්චි විදුලි ලාම්පු ආවරණ හා වෙනත් විසිතුරු භාණ්ඩ ඇතුළු බොහෝ දේ එදා බට කර්මාන්තකරුවන් අතින් නිපදවිණි. 

එසේම කලකට පෙර ජාතික ශිල්ප සභාව වැනි විවිධ ආයතන මැදිහත්ව ගම්වල තරුණ තරුණියන්ට බට ආශ්‍රිත නිෂ්පාදන පුහුණුව ලබාදී ඇතත් එම වැඩ පිළිවෙළ ඉදිරියට නොයාමත් ඇතැම් රාජ්‍ය අංශ මගින් බට කර්මාන්තකරුවන්ට එම කර්මාන්තය සංවර්ධනය කරගැනීම පිණිස මඩු සඳහා සෙවිලි හා සෙසු උපකරණ ඇතුළු ආධාර ලබා දුන්නේය. එහෙත් පසු විපරමක් නොමැතිව එම වැඩපිළිවෙළ අත්හැර දැමීම නිසා බට කර්මාන්තකරුවන් තුළ එවන් වැඩ සටහන් පිළිබඳ වූ විශ්වාසයද පළුදුවී තිබේ. මෙවැනි වැඩසටහන්වලින් මහජන මුදල් අපතේ යාම සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් වගකීමක් නොදරන බවත් දක්නට ඇත.

කෙසේ වුවද තම ගම් ප්‍රදේශයේ පවුල් රාශියකට සෘජු හා වක්‍ර ජීවනෝපාය මාර්ග සැලසූ බට කර්මාන්තය අද වන විට පත්ව ඇති තත්වය ගැන ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ බට කර්මාන්තකරුවෝ මෙසේ අදහස් දැක්වූහ.

 

එච්. එම්. සුගතපාල මහතා

මම දැන් අවුරුදු 60 ක විතර කාලෙක පටන් මේ කර්මාන්තයේ යෙදෙනවා. ඒ කාලෙනම් මේ ගමේ පවුල් පනහක් හැටක් මේ රස්සාව කළා. අපි වැඩිපුරම හැදුවේ දලු කූඩ දලු කිරන තට්ටු වගේ දේවල්. ඒත් කාලයක් යනකොට වතුවලට බට කූඩ ගැනීම නතර කළා. ඒ නිසා මේ කර්මාන්තයේ නියැළුණු බොහෝ දෙනා එම කර්මාන්තයෙන් ඉවත් වෙලා වෙන වෙන ආදායම් මාර්ග සොයන් ගියා. මමත් දලුකූඩ හැදීම අත්හැරලා ඉන් පස්සේ එළවළු පලතුරු කූඩල පස් කූඩල වැලි කූඩ බට පැලැලිල බුලත් තට්ටු ආදිය හදන්න පටන් ගත්තා. දැන් දලු කූඩ භාවිතය අඩුවුණත් නිෂ්පාදකයන්ද හිඟ නිසා සමහර වතුවලින් පොඩි පොඩි ඇණවුම් ලැබෙනවා. ඒත් අපෙන් පස්සේ මේ කර්මාන්තය කරන්න කවුරුත් නැති එක ගැන දුකයි. අද තරුණ පරපුර මේවා ඉගෙනගන්න කැමැති නෑ.   

 

එච්. ඒ. එච්. ජයසිංහ මහතා

දැන් අවුරුදු 75 කට පමණ පෙර තේ වතුවලට තේ කූඩ හැදීමයි අපි කළේ. මේ ගම්මානයේ හැමෝගෙම වගේ ජීවනෝපාය වුණේ බට කූඩ කර්මාන්තය. ඒ කාලෙ කූඩයක් දුන්නේ රුපියල් 8- 10 ක් වගේ මිලකට. බට ගෙනාවෙ රත්නපුර වගේ ඈත ප්‍රදේශවලින්. ගමේ තිබුණු මඩුවකට එකතු වෙලා 30- 35 ක විතර පිරිසක් වැඩ කරනවා. පස්සේ තේ වතු ජනවසම යටතටත් ඊටත් පස්සේ වැවිලි සමාගම් යටතටත් පත්වුණා. ඒ වෙනකොට කූඩයක් ගත්තේ රුපියල් 10- 15 ට. ඒත් ඒ වෙනකොට ප්‍රවාහන වියදම් එහෙම වැඩිවෙලා කූඩයක් රුපියල් 20 කටවත් දෙන්න ඕන වුණා. එහෙත් වතු සමාගම් ඒ මිලට ගන්න කැමැති වුණේ නෑ. ඒ අය වැඩි ලාබය ගැන හිතලා දලු නෙළීම සඳහා කූඩ වෙනුවට පොලිසැක් උර හෝ හිස් පොහොර බෑග් ආදිය භාවිත කිරීමට පටන් ගත්තා. ඉන් පස්සේ මේ කර්මාන්තය කළ බොහෝ අය එය නතර කළා. අද වන විට ඉතාම අතලොස්සයි බට කූඩ කර්මාන්තය කරන්නේ.  

 

ආර්. එම්. රූපසිංහ මහතා

මමත් කාලයක් බට කූඩ කර්මාන්තයේ යෙදුණා. මේ කූඩ කර්මාන්තය ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක්. ඒත් හැමදේම පිටරටින් ගේන පහත් මානසිකත්වය නිසයි අපේ රටේ දේවල් නැතිවෙලා යන්නේ. බට කූඩ හා තට්ටු වෙනුවට ලාබදායී ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය කිරීමෙන් අපේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ආදායම් අහිමිවීම නිසයි බොහෝ දෙනාට මේ බට කර්මාන්තය අත්හැර දැමීමට සිදුවුණේ. විශේෂම දේනම් මේ බට පඳුරු කැළෑවල ඉබේ වැවෙන්නේ. බෙහෙත් පොහොර දැමීමක් තබා සිටුවන්නවත් අවශ්‍ය නෑ. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා නිෂ්පාදන වියදමක් නෑ. ඒ වගේම ප්ලාස්ටික් භාණ්ඩ වගේ නෙවෙයි මේවා කැඩිල විසිකළත් පරිසරයට කිසිම හානියක් නෑ. ඒ නිසා ගෘහ කර්මාන්තයක් විදිහට දහස් ගණනකට ජීවනෝපාය සලසාගත හැකි පරිසර හිතකාමී දේශීය කර්මාන්තයක් විදිහට බට කර්මාන්තය යළි නගා සිටුවන්න පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 

 

එච්. එම්. පුංචිබණ්ඩා මහතා

ඒ කාලෙ ගමේ තැන් තැන්වල වැඩපොළවල් 7-8 ක්ම තිබුණා. පවුල් 50- 60 ක් මේකෙන් ජීවත් වුණා. තාමත් ඒ කර්මාන්තය කළ හැකි 30- 40 දෙනෙක් ගමේ ඉන්නවා. ඒත් යම් තරමකට හෝ මේක කරගෙන යන්නේ කීප දෙනෙක් විතරයි. වතුවලට කූඩ ගැනීම නතරවීමෙන් තමයි බොහෝ අය කර්මාන්තය අත්හැරියේ. මේ බට කූඩවලට දලු කැඩුවම තැලෙන්නෙ පොඩිවෙන්නෙ නෑ. හොඳට වාතාශ්‍රය ලැබෙන නිසා දලු මැලවෙන්නේ නෑ. දලු අලුත් පිටම කර්මාන්ත ශාලාවට ලැබෙනවා. පොහොර උරවලට කැඩුවම දලු පොඩිවෙනවා මැලවෙනවා. ප්‍රවාහනයේදී තවත් තැලෙනවා. පොඩිවෙනවා. එහෙත් බොහෝ වතු හිමියන් දැන් බට කූඩ ගන්නේ නෑ. ඒ නිසා බට කර්මාන්තකරුවන් ලෙස අප ඉල්ලා සිටින්නේ මේ කර්මාන්තය ගම් මට්ටමින් යළි ව්‍යාප්ත කරන්න රජයේ අවධානය යොමු කරන්න කියලයි.



අදහස් (0)

ස්ප්‍රිංවැලි බට කූඩ කර්මාන්තය අභාවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site