ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා
|
ඉදිරියටත් පාරිභෝගික ජනතාවට උසස් තත්වයේ භාණ්ඩ සහ සේවාව සැපයීමටත්, ජාතියේ ආර්ථික වර්ධනයට දායකත්වය අඛණ්ඩව ලබා දීමත් ලංකා සතොසේ මූලික අධිෂ්ඨානය වේ. |
‘’අපේ රටේ, අපේම තැන’ යන පාඨය ඇසූ සැනින් කාගේත් මනසට නැගෙන්නේ ලංකා සතොසයි. එදා ගමේ උදවියට තිබූ එකම තොග කඩය වූයේ සමුපකාරය හෙවත් සතොසය. සතොස යනු සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවය. ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ලෙසින් ආරම්භ වූ කඩ සමිති ව්‍යාපාරය ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරයි. දෙවැනි ලෝක යුද සමයේ ඇරඹුණු මෙම වැඩපිළිවෙළින් සමුපකාරය ජනතාවගේ සමීප මිතුරෙක් විය. 1943 සමුපකාර තොග වෙළෙඳ ආයතනය ආරම්භ කළේ සමුපකාර සමිතිවලට අවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍ය තොග වශයෙන් ලබාදීමේ අරමුණ ඇතිවය. එහි ගෞරවය හිමිවන්නේ ටී.බී. ඉලංගරත්න මහතාටය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වෙළෙඳසැල් සමග තරග කරමින් පෞද්ගලික ලාබ අරමුණුවලින් තොරව ජනතාවගේ සුඛ විහරණය උදෙසා කටයුතු කරනු ලබන වෙළෙඳ ආයතනයක් ලෙස ලංකා සමූපකාර තොග සංස්ථාව හෙවත් සතොස හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව පුරා සතොස ශාඛා 450 කට ආසන්න ගණනක් ව්‍යාප්තව ඇත. සතොස ව්‍යාපාරය සහ ඒ හරහා ජනතාවට සපයනු ලබන සේවය පිළිබඳව ලංකා සතොස වර්තමාන සභාපති ආචාර්ය සමිත පෙරේරා සමග සිදුකළ සාකච්ඡාවක සටහනකි.
රජයේ ප්‍රමුඛතම සිල්ලර වෙළෙඳ ජාලය වන ලංකා සතොස, 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය මගින් පාරිභෝගිකයන් ඉලක්ක කරගත් අරමුණු තවදුරටත් තහවුරු කිරීමට සමත්ව ඇත. පසුගිය වසරේ එනම් 2024 වර්ෂයේදී එම කාල පරිච්ඡේදය හා සසදන විට භාණ්ඩ මිල සියයට 23කින් සැලකිය යුතු ලෙස පහත හෙළීමට අදවනවිට සතොසට හැකි වී තිබේ. වෙළෙඳ පරිමාවේ සියයට 5ක වර්ධනයක් සහ වටිනාකමින් සියයට 6 ක වර්ධනයක් වාර්තා කිරීමටත් ලංකා සතොස සමත් වී ඇත.
ලංකා සතොස භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහත හෙළීමට බලපෑ ප්‍රධාන හේතු කීපයකි. එක් හේතුවක් වන්නේ පරිපාලන වියදම් අඩු වීම, කාර්යක්ෂම කළමනාකරණය සහ වියදම් පාලනය හේතුවෙන් පරිපාලන වියදම් සියයට 20 කින් අඩු කිරීමට හැකි වීමයි. සමස්ත අපතේ යාම අඩු වීම එනම් සැපයුම් දාමයේ සහ මෙහෙයුම් ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමෙන් සමස්ත අපතේ යාම සියයට 28 කින් අඩු කර ගැනීමට සමත් වීම ද තවත් හේතුවකි. එලෙසම ප්‍රවාහන වියදම් අඩු වීම එනම් ප්‍රවාහන ජාලය ප්‍රශස්ත කිරීම සහ කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම භාවිතය හේතුවෙන් ප්‍රවාහන වියදම් සියයට 7 කින් අඩු වී ඇත.
මෙම සාර්ථකත්වයේ මූලිකම සාධකය වී ඇත්තේ ලංකා සතොස පාරිභෝගිකයන්ට දැරිය හැකි මිල ගණන් යටතේ උසස් තත්වයේ භාණ්ඩ ලබා දීමයි. මිල අඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, එය ලංකා සතොස වෙළෙඳ දියුණුවේ වර්ධනයට සෘජුවම බලපා ඇත. එපමණක් නොව, සතොස කාර්යක්ෂම මෙහෙයුම් සහ උපායමාර්ගික කළමනාකරණයෙන් වටිනාකමින් ද සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට ලංකා සතොසට හැකි වී තිබේ.
තවද, ඉතිහාසයේ දිනක වාර්තා වූ ඉහළම විකුණුම් ප්‍රමාණය වන රුපියල් මිලියන 870 ක අගය පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා කිරීමට ලංකා සතොස සමත් වී තිබේ. මෙම සුවිශේෂී ඉලක්ක ළඟා කර ගැනීම ලංකා සතොස පාරිභෝගික විශ්වාසය සහ වෙළෙදපොළේ ලංකා සතොස ශක්තිමත් ස්ථානගත කිරීම මනාව පෙන්නුම් කරනු ලබයි.
දේශීය ආර්ථිකයට සහයෝගය දැක්වීමේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මාස කිහිපය තුළ දේශීය ගොවින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙන් සමග සෘජුවම සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ. එමගින් ඔවුන්ගේ නැවුම් සහ උසස් තත්වයේ භාණ්ඩ සතොස පාරිභෝගිකයන් වෙත සෘජුවම ගෙන ඒමටත්, ඔවුන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් උදාකර දීමටත් හැකි වී ඇත. මෙම ප්‍රවේශය දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති කැපවීම තවදුරටත් සනාථ කරයි.
අපගේ ආයතනයේ මූලික අරමුණු 4කි. එනම් පාරිභෝගිකයන්ට අඩු වියදමින් නිසි ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබාදීම, ගොවිජනතාවගේ නිෂ්පාදන සතොස ජාලයට සම්බන්ධ කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සතොස ජාලයට සම්බන්ධ කිරීම සහ සමාගමක් ලෙස ධනාත්මක සංස්කෘතියකින් යුතු වාතාවරණයක් නිර්මාණය කිරීම වේ.
ලංකා සතොස තවදුරටත් වර්ධනය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා උපායමාර්ගික පියවර රැසක් ක්‍රියාවට නැංවීමට සූදානම්ව සිටී. එනම් සේවකයන් අතර සහයෝගීතාව, ගෞරවය සහ ඵලදායිතාව වර්ධනය කිරීමෙන් උසස් සේවා පරිසරයක් නිර්මාණය කිරීම, සතොස සාමාජික සුබ සාධනය සහතික කිරීම සතොස සාමාජිකයන්ගේ ශාරීරික හා මානසික යහ පැවැත්ම සහතික කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සතොස සාමාජිකයන්ගේ හැකියාව වැඩි දියුණු කිරීම සදහා අඛණ්ඩ පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා ලබා දීමෙන් සේවකයන්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම, අලෙවිසැල් නවීකරණය කිරීම එනම් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ නවීන වෙළෙඳ අත්දැකීමක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි අපගේ අලෙවිසැල් අදියර වශයෙන් වැඩිදියුණු කිරීමට සැලසුම් කිරීම, නිෂ්පාදන කළමනාකරණය එනම් පාරිභෝගික අවශ්‍යතා සහ වෙළෙඳපොළේ නව ප්‍රවණතා හඳුනා ගනිමින් ලංකා සතොස වෙළෙඳසැල් තුළ ඇති නිෂ්පාදන තවදුරටත් විවිධාංගිකරණය කිරීම සහ ප්‍රශස්ත කිරීමය.
මේ වනවිට සතොස ලබා සිටින සුවිශේෂී ජයග්‍රහණයේ ගෞරවය වෙනුවෙන් කැප වූ සතොස සාමාජිකයන්, විශ්වාසවන්ත පාරිභෝගිකයන්, සහයෝගය දක්වන සැපයුම්කරුවන් සහ අනෙකුත් සියල්ලම පාර්ශවකරුවන්ට හිමිවන බව ලංකා සතොස සඳහන් කරයි. ඉදිරියටත් පාරිභෝගික ජනතාවට උසස් තත්වයේ භාණ්ඩ සහ සේවාව සැපයීමටත්, ජාතියේ ආර්ථික වර්ධනයට දායකත්වය අඛණ්ඩව ලබා දීමත් ලංකා සතොසේ මූලික අධිෂ්ඨානය වේ.
ශෂිකා අබේරත්න
සතොස ජාතික ආර්ථිකයට ශක්තියක්