කර්මාන්තය Over Visitation තත්වයෙන් Over Tourism තත්වයට පත්වීම වළක්වා ගැනීම වැදගත්
යාල, මින්නේරිය, සීගිරිය මෙන්ම ඇල්ලත් Over Visitation තත්වයට පත්වෙලා
2024 දී යාලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් 646,704කින් ලැබූ ආදායම රු.බි. 2.80ක්
සීගිරියට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් 1,121,892කින් ලැබූ ආදායම රු.බි. 3.99ක්
රට තුළ ඇති සංචාරක ගමනාන්තවලට එක් වරකට පැමිණෙන පිරිස අධික වීමේ ප්‍රවණතාවක්
භානුක අමරසිංහ
මෙරට විදේශ විනිමය සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන සංචාරක කර්මාන්තය, සංචාරක ඉලක්ක හේතුවෙන් විනාශයට පත්වීමට ඉඩ නොදිය යුතු බව සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයෙක් වන ශ්‍රීලාල් මිත්තපාල මහතා පවසයි.
මේ වසරේ අගෝස්තු 20 වැනිදා දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් පැමිණ ඇති පසුබිමක් තුළ, වසර තුළ සංචාරක පැමිණීමේ ඉලක්කය වන ලක්ෂ 30 සහ ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 5 සාක්ෂාත් කරගැනීමේ හැකියාව සහ ඉන් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ලංකාදීප FT සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම වර්තමානයේදී ලොව බොහෝ සංචාරක ගමනාන්ත වෙත ගැටලුවක්ව පවතින අධික සංචාරක පැමිණීම් (Over Tourism) තත්වයට මෙරටද පත්වීමට ඉඩ නොදිය යුතු බවත්, එය වළක්වා ගැනීම සඳහා බලධාරීන් උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කළ යුතුව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
“අද ලංකාවට වගේම ලෝකයේ බොහෝ රටවලට පැමිණෙන සංචාරකයන් ඉහළ ගිහින්. ඒ අතරතුරදීම මේ සංචාරකයන්ගේ අධික පැමිණීම් එම ගමනාන්තවලට දරාගැනීමට නොහැකි තත්වයකට පත්වෙලා. ඒ නිසා මේ ගමනාන්ත තිරසාර අන්දමින් කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් මතුවෙලා. එය එම ස්ථානවල පදිංචිකරුවන්ගේ ජීවන තත්වය පහත හෙළීමට වගේම සංචාරකයන්ගේ අත්දැකීම් හීන කිරීමටත් හේතුවක් වෙලා.”
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තවමත් මෙලෙස අධික සංචාරක පැමිණීමක් නිසා ඇතිවන ගැටලුවකට පත්වෙමින් නොමැති බව පෙන්වාදෙන ඒ මහතා, රට තුළ ඇති සංචාරක ගමනාන්ත වෙත එක් වරකට පැමිණෙන පිරිස අධික වීමේ (Over Visitation) ප්‍රවණතාවක් පවතින බවත් සඳහන් කර සිටියි.
“මේ තත්වය OverTourism තත්වයට වඩා දරුණු නැහැ. එය කළමනාකරණ කළ හැකියි. ඇතැම් විටකදී මෙලෙස එක් ගමනාන්තයක් වෙත අතිවිශාල සංචාරකයන් පිරිසක් එක්වර පැමිණීම සංචාරකයන්ගේ ආරක්ෂාවටද ගැටලු ඇති කරනවා. අද වනවිට මෙවැනි Over Visitation සංචාරක ගමනාන්ත රැසක් අපිට රට තුළ දැකගන්න පුළුවන්.”
ඒ අනුව යාල ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, සීගිරිය වැනි ස්ථාන මෙන්ම ඇල්ල ප්‍රදේශයේ පිහිටි ආරුක්කු නවයේ පාලමද මෙලෙස Over Visitation හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබෙන ස්ථාන ලෙස ඒ මහතා හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවද 2024 දී ජාතික වනෝද්‍යාන අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති යාල වනෝද්‍යානය වෙත, දේශීය සංචාරකයන් 293,058ක්ද, විදේශීය සංචාරකයන් 353,646ක්ද පැමිණ තිබේ.
එහිදී දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 44.9ක ටිකට්පත් ආදායමක් හිමිවී ඇති අතර, විදේශිකයන්ගෙන් එය රුපියල් බිලියන 2.71 කි. එසේම සෆාරි ජීප් රථ හරහා හිමිවූ රුපියල් මිලියන 39.3ක ආදායමත් සමගින් වසර තුළ යාල හරහා ලැබුණු සමස්ත ආදායම රුපියල් බිලියන 2.80ක් ලෙස සටහන්ව තිබේ.
එසේම සීගිරිය නැරඹීම සඳහා දේශීය සංචාරකයන් 613,239ක්ද, විදේශීය සංචාරකයන් 508,653ක්ද ගොස් තිබේ. ඒ අතරින් දේශීය සංචාරකයන් හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 68.6ක් වන අතර, විදේශීය සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 3.9 කි.
“සංචාරක ආදායම් රැස්කර ගැනීමේ අදහසින් මේ රත්රන් බිජු දමන පාත්තයා මරා දමන්න එපා කියලයි අපි කියන්නේ.” මිත්තපාල මහතා සඳහන් කරයි.
“මේ ගැටලු සියල්ලක්ම ඇතිවෙන්නේ එම ස්ථානවල පවතින දුර්වල කළමනාකරණය නිසා. නමුත් ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමෙන් මෙම තත්වය මගහරින්න පුළුවන්. ඉන් පළමුවැන්න තමයි ඊට අදාළ රාජ්‍ය ආයතන මගින් මැදිහත් වෙලා මේ අධික සංචාරක පැමිණීමක් පවතින ස්ථාන නිසි ලෙස කළමනාකරණය කිරීම. දෙවැන්න තමයි සංචාරකයන්ගේ පැමිණීම්හි වර්ධනයත් සමගින්ම, ඉහළ මුදල් වියදම් කිරීමක් සහිත සංචාරකයන් මෙරටට ගෙන්වාගන්න කටයුතු කිරීම.”
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුවද පසුගිය වසරේදී මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම දින ගණනක් මෙරට තුළ රැඳී සිට ඇත්තේ නෙදර්ලන්තය ඇතුළු යුරෝපයෙන් පැමිණි සංචාරකයන්ය.
මේ අතරින් නෙදර්ලන්ත සංචාරකයන් 50,116ක් මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් සාමාන්‍යයක් ලෙස දින 14.47ක කාලයක් මෙරට රැඳී තිබේ. එසේම 136,084ක් වූ ජර්මානු සංචාරකයන් අතර එය දින 12.02ක්ද, 29,829ක් වූ ස්විස්ටර්ලන්ත සංචාරකයන් අතර එය දින 12.64ක්ද, 24,845ක් වූ ඊශ්‍රායල සංචාරකයන් අතර දින 12.23ක්ද වී තිබේ. මීට අමතරව 88,775ක් වූ ප්‍රංශ සංචාරකයන් අතර එය දින 11.21කි.
කෙසේ වෙතත් පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් ලක්ෂ 20 අතරින් වැඩිම පිරිස ලෙස ඉන්දියාවෙන් පැමිණි 416,974ක් දෙනා මෙරට තුළ රැඳී ඇති දින ගණනේ සාමාන්‍ය දින 5.27 කි.
සංචාරක ඉලක්ක කර්මාන්තයේ නරකට හිටින අවදානමක්?