භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ගෘහ විදුලි උපකරණ අලෙවි සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී අලෙවි කළ ශීතකරණ අතරින් සියයට 83ක් සහ රෙදි සෝදන යන්ත්‍ර අතරින් සියයට 88ක්ම දේශීයව නිෂ්පාදනීය කළ ඒවා බව එම සමාගම පවසයි.
එම මූල්‍ය වර්ෂය සඳහා පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියි.
“රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ අලෙවිය මෙම මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එහිදී ආනයනය කළ නිෂ්පාදනවලට වඩා රෙදි සෝදන අලෙවියෙන් සියයට 83ක් වගේම ශීතකරණ අලෙවියෙන් සියයට 88ක් සඳහා දේශීය නිෂ්පාදන දායකත්වය ලබාදුන්නා.”
මෙහිදී සිය නිෂ්පාදන හැකියාව තවදුරටත් දියුණු කරමින් ජාත්‍යන්තර ප්‍රමිති අනුව නවීන තාක්ෂණය යොදා ගනිමින්, පාරිභෝගික ඉල්ලුමට අනුව එම නිෂ්පාදන ඉදිරිපත් කිරිමට හැකිවීම මෙම සාර්ථකත්වය හේතුව බවත් ඒ මහතා පවසයි.
මෙම වාර්ෂික වාර්තාවට අනුව සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම එම මූල්‍ය වර්ෂයේදී ශීතකරණ 89,957ක් සහ රෙදි සෝදන යන්ත්‍ර 47,241ක් නිපදවා තිබේ.
අද වනවිට සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම යටතේ රත්මලානේ පිහිටි ඍැටබසි ඛ්බන් කර්මාන්තශාලාව තුළ සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මෙන්ම රෙදි සෝදන යන්ත්‍ර නිපදවීම සිදු කරයි. එසේම පානදුරේ පිහිටි Regnis Appliances සමාගම තුළ රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ සඳහා අවශ්‍ය උපාංග නිපදවයි.
“මෙම කර්මාන්තශාලා දෙක තුළම පර්‌යේෂණ සහ සංවර්ධන හැකියාව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම කර්මාන්තයේ විශේෂඥයන් මේ සඳහා බඳවා ගනිමින් වඩාත් කාර්යක්ෂමව කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා.” යනුවෙන්ද විජේවර්ධන මහතා සඳහන් කරයි.
සිංගර් අලෙවි කළ ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර වැඩි ප්‍රමාණය දේශීය නිෂ්පාදන