භානුක අමරසිංහ
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 170 ක විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමට නිල ණය හිමි කමිටුව (OCC) පසුගියදා පියවර ගත් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා අනාවරණය කළේය.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රධාන සීමාවක් පසු කිරීමේ අවස්ථාවක් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. ඒ අනුව මෙම තීරණයත් සමගින් රජය සහතික කරන ලද ණය සමඟ සම්බන්ධ වී ඇති තීරණාත්මක නීතිමය සහ ක්‍රියා පටිපාටිගත බාධාවක් ඉවත් කරගැනීමට සමත්ව ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා, ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව පවතින විදේශීය වගකීම් සඳහා අවසාන පියවීම් සඳහා ශ්‍රී ලංකාවට ඉඩ සැලසෙන බවත් සඳහන් කළේය.
“රජය විසින් පත් කරන ලද නීති විශේෂඥයන්ගේ උපදෙස් පරිදි, අනුගමනය කරන ලද ප්‍රවේශය මත පදනම්ව ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට මෙම නිල ණය හිමි කමිටුවේ අනුමැතිය අවශ්‍ය වී තිබුණා. ඒ අනුව කිසිදු විරෝධතාවක් නොමැති බවට එම නිල ණය හිමි කමිටුව මගින් සිය ස්ථාවරය විධිමත් ලෙස දැනුම් දී ඇති බව ප්‍රකාශ කිරීමට කැමැතියි.“ ආචාර්ය සූරියප්පෙරුම පවසා සිටියේය.
මෙම කමිටුව ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල සම-සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙයි. එසේම එම රටවල් මෙරට ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමියන් නියෝජනය කිරීමත් විශේෂත්වයකි.
මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව මෙම ඩොලර් මිලියන 170 ක බැඳුම්කරය රාජ්‍ය ඇපකරයක් මගින් පිටුබලය ලබන විදේශ බැඳුම්කරයකි. ඒ අනුව මෙම බැඳුම්කරය පවතින සිංගප්පූරු හුවමාරුව තුළ සිදු කරන ලද හෙළිදරව් කිරීම් හරහා, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජය නිරන්තරයෙන් වෙෙළඳපොළ දැනුවත් කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රීලංකන් ණය ප්‍රතිව්‍යුහගකරණයට නිල ණය හිමි කමිටුවේ විරෝධයක් නෑ