දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතනවලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස් ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත.
ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුළ එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන් සහ එහි අනුබද්ධ ආයතන වලට කොළඹට හදිසි සැපයුම් ප්‍රවාහනය කිරීමට හැකි වේ.
දෙසැම්බර් 9 වැනි අඟහරුවාදා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පළමු සහනාධාර එකතුව වූ ලෝක ආහාර වැඩසටහනෙන් (WFP) පරිත්‍යාග කරන ලද බිස්කට් තොගය මෙසේ ප්‍රවාහනය කරන ලදී. ඉන්පසු ඩුබායි සහ උතුරු එමිරේට්ස් ප්‍රදේශය සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් ආහාර ද්‍රව්‍ය සහ සහනාධාර තොගයක් සහ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු කුරුස සංගම් සම්මේලනයෙන් (IFRC) ටාර්පෝලින් සහ අනෙකුත් සැපයුම් එමිරේට්ස් විසින් ප්‍රවාහනය කරන ලදී. දරුණු ගංවතුරෙන් පීඩාවට පත් වූ සහ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අත්‍යවශ්‍ය සහන බෙදා හැරීම සඳහා රජය විසින් පිහිටුවන ලද ආපදා කළමනාකරණ ඒකකයකට මෙම භාණ්ඩ යවනු ලැබේ.
එමිරේට්ස් ගුවන් සේවයෙහි සහ සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් මහතා මෙසේ පැවසීය:
“එමිරේට්ස් ශ්‍රී ලංකාව සමඟ ගැඹුරින් සම්බන්ධ වී කැපවී සිටින බැවින්, ඩුබායි හියුමැනිටේරියන් සමඟ සම්බන්ධීකරණයෙන්, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවට අත්‍යවශ්‍ය සහනාධාර ලබා දීම සඳහා අපි අපගේ යටිතල පහසුකම් සහ මෙහෙයුම් බලමුලු ගන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට අපගේ දෛනික ගුවන් ගමන්වලදී සහනාධාර සඳහා ගුවන් යානාවල භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව කැප කරනු ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නිතිපතා සහ විශ්වාසදායක ප්‍රවාහයක් සපයනවා.”
ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර ප්‍රවාහනය කිරීමට එමිරේට්ස් සහ ඩුබායි හියුමැනිටේරියන් ඉදිරිපත් වෙයි