IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී ලංකාව ඛනිජ අපනයනයෙන් උපයන්නේ හැකියාවෙන් අඩක් පමණයි

ශ්‍රී ලංකාව ඛනිජ....

ඛනිජ සම්පත් අපනයනයෙන් ඩොලර් බිලියන 2ක ආදායමක් ඉපැයීමේ අවස්ථාවක් 
දේශීය පිරිපහදු කිරීම්, ගුණාත්මක බව ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් දාම වෙත එකතු වීම ප්‍රධානයි 
බලපත්‍ර ප්‍රමාදය, ප්‍රතිපත්ති අස්ථාවරත්වය සහ ආයෝජකයා මත පැටවෙන බර ආයෝජන දුර්වල කිරීමට හේතුවක් 

භානුක අමරසිංහ 

ඛනිජ සම්පත් අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 778 ක ආදායමක් ඉපැයීමේ හැකියාවක් පැවතියත්, තවමත් උපයන්නේ ඩොලර් මිලියන 389 ක ආදායමක් පමණක් බව නවත දත්ත වාර්තාවක් පවසයි. 
මෙරට ක්‍රියාත්මක පර්‌යේෂණ ආයතනයක් වනිපාත් ෆයින්ඩර් පදනම‘ සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව ශ්‍රී ලංකාවේ පතල් කැණීම් අංශයේ පරිවර්තනය සම්බන්ධයෙන් සකස් කළ “Mining Potential: A Global Opportunity” වාර්තාව තුළ මෙම කරුණු සඳහන්ව තිබේ. 
 “ශ්‍රී ලංකාවේ බොහෝ ඛනිජ සම්පත් එක්කෝ අමුද්‍රව්‍ය ලෙස හෝ අර්ධ වශයෙන් සැකසු ලෙස අපනයනය කරන්නේ. එහි අගය එකතු කිරීම ඉතාමත් සීමිතයි. 
ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ අපනයන හැකියා සිතියම මගින් ශ්‍රී ලංකාවේ මෙම අපනයන ආදායම් හැකියාව ඩොලර් මිලියන 778ක් බව පෙන්වනවා. 
එහෙත් තවමත් ලොව ප්‍රධානතම ගමනාන්ත 10 වෙත ශ්‍රී ලංකාව සිදු කරන අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 389ක් පමණයි.“ 
මූලික දත්ත අනුව ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක වාර්ෂික ඛනිජ අපනයන ආදායමක් හිමි කරගැනීමේ අවස්ථාවක් පවතින බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. 
ඒ අනුව දේශීයව සිදු කරන පිරිපහදු කිරීම්, ගුණාත්මක බව ඉහළ නැංවීම සහ ගෝලීය සැපයුම් දාම වෙත එකතු වීම යනාදී අගය එකතු කිරීම් හරහා මෙලෙස ඩොලර් බිලියන 2ක ආදායමක් කරා යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
“කලාපීය වශයෙන් පවතින සහයෝගිතා අවස්ථාවන් තවමත් නිසි ලෙස උපයෝගී කරගෙන නැහැ. එහිදී  ISFTA, PSFTA, SSLFTA සහ Thai FTA ලෙස පවතින නිදහස් වෙ​ළෙඳ ගිවිසුම් හරහා කලාපය වෙත මෙම ඛනිජ අපනයනයට හැකියාවක් තිබෙනවා. උදාහරණ ලෙස ඉන්දියාවත් සමගින් පවතින SAFTA එකඟතාව යටතේ ඉන්දියාවේ මෝටර් රථ සහ පිරිසුදු බලශක්ති අංශය වෙත මෙම ඛනිජ සම්පත් අපනයනය කළ හැකියි.“ මෙම වාර්තාව පවසයි. 
එසේම ගොඩබිම සිදු කරන ඛනිජ කැනීම්වලට අමතරව අක්වෙරළ පතල් හරහාද අවස්ථා පවතින බව එහි සඳහන් වෙයි. අද වනවිට ශ්‍රී ලංකාවේ වෙරළෙන් කිලෝමීටර් 8ක් පමණ දුරකින් පිහිටි කොරල්පර අවට ප්‍රදේශයේ මීටර් 75ක් පමණ ගැඹුරේ ඛනිජ සම්පත් බහුලව පවතින බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් ඒවා මතු කරගැනීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත. 
මෙහිදී ඔස්ට්‍රේලියාවේ පතල් කැනීම් උපකරණ, තාක්ෂණය සහ සේවා සමාගම් (METS) රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව හරහා මෙරට තුළ ඛනිජ සම්පත් කැණීම සම්බන්ධයෙන් වන ආයෝජන කිරීමට සූදානමින් සිටින බවත් මෙම වාර්තාව මගින් අනාවරණය කෙරී තිබේ. 
 “ශ්‍රී ලංකාවට ශක්තිමත් භූගෝලීය හැකියාවක් පැවැතියත් මෙම ආයෝජන අධෛර්යවත් කරවන කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒ අතර නියාමන ක්‍රියාරාමුව නිසා ඇති වන බලපත්‍ර ප්‍රමාදය, ප්‍රතිපත්ති අස්ථාවරත්වය සහ ආයෝජකයා මත පැටවෙන බර යනාදිය බලපානවා. 
එසේම මන්දගාමී, විනිවිදභාවයකින් තොර පාරිසරික ඇස්තමේන්තු සහ නොගැළපෙන භූමි පරිභෝජන ප්‍රතිපත්ති යනාදියත් ඒ අතර පවතිනවා.“ යනුවෙන්ද මෙම වාර්තාව පෙන්වා දෙයි. 
ඒ අනුව සියලු‍ දෙනා එක්ට එක්ව සකස් කරන ප්‍රතිසංස්කරණ සහ නිලධාරීවාදය තුරන් කිරීම මෙන්ම වඩාත් ක්‍රියාකාරී ආයෝජන ව්‍යාපෘති හඳුනාගැනීමත් මෙම අපනයන ආදායම හිමි කර ගැනීම සඳහා වැදගත් බවද වාර්තාව සඳහන් කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකාව ඛනිජ අපනයනයෙන් උපයන්නේ හැකියාවෙන් අඩක් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site