IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ශ්‍රී ලාංකික අපනයන අවදානමේද?

පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝග තරමක ජයග්‍රහණ අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නිසි මගට එළැඹීම සුබදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විශේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යළි දෙදරා යන තත්වයක් නිර්මාණය වී ඇත. මේ තත්වයට හේතු වී ඇත්තේ මෙරට අපනයන ආදායමෙන් සීයට විසිපහක් පමණ ඇමරිකා එක්සත් ජනපද අපනයන ආදායම මත රඳා පවතින බැවිනි. 
ආර්ථික විශ්ලේෂණය පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය සිරිමල් අබේරත්න පවසා සිටින්නේ මෙම පීඩනය නිර්මාණය වීම බාහිර පීඩන හමුවේ වර්ධනය වීමකට වඩා මෙරට ආර්ථිකය විසින් ඉල්ලා සිටි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි අවස්ථාවේදී සිදු නොවීම බොහෝ කලක් තිස්සේ මෙරට ආර්ථික දේහය වසා පැතිර තිබූ අභාග්‍ය සම්පන්න අවසානයක ප්‍රතිඵලයන් බවයි.
 “මේ තත්වය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇති කරන ලද තත්වයකට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමත් ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්වයක් ඇති කර ගැනීමට දශක ගණනාවක් තිස්සේ අප අසමත් වීම හමුවේ ඇති වූ තත්වයක් බව මාගේ හැඟීමයි. ට්‍රම්ප් ආණ්ඩුව විසින් හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තිය හරහා අපට සිදු වූයේ අපේ වැරදි අපටම දැක ගන්නට කැඩපතක් ඉදිරියට පැමිණ වීමක් බඳු තත්වයක් උදා වීම පමණයි”.
අන්‍යෝන්‍ය වෙළෙඳ සාධාරණත්වය යන සංකල්පය මත ක්‍රියාත්මක කළ ඇමරිකානු රජයේ නව වෙළෙඳ බදු ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින අපනයන වෙළෙඳාම අනෙක් රටවලට සාපේක්ෂව නොගිනිය හැකි තරම් කුඩා වූවද ඇමරිකානු ආනයන මත ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන බදු අනුපාතය ඉතා ඉහළ අගයක් ගනී. මේ තත්වය මත ඇමරිකානු රජය විසින් ක්‍රියාත්මක කළ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ඇඟලුම් අපනයන දැඩි අභියෝගයකට මුහුණදීම නොවැළැක්විය හැකි තත්වයක් නිර්මාණය කරන ලදී. ආරම්භයේදී පනවන ලද සියයට 44 ක බදු ප්‍රතිශතය මාස 3කට අත්හිටුවා ඇතත් ඇමරිකා එක්සත් ජනපදය සඳහා සිදු කරන මෙරට ඇඟලුම් අපනයන මත දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිශතවලට අමතරව චීනය ඇතුළුව රටවල් කිහිපයක් හැරුණු කොට සෙසු රටවල් සඳහා සියයට 10ක බද්දක් මේ වන විට පනවා ඇත. දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ජූලි 8 වැනි දිනෙන් අවසන් වීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සමග ඵලදායී වෙළෙඳ ගිවිසුමකට අවතීරණය විය යුතු අතර එසේ නොවුවහොත් වඩාත් අවාසි සහගත වෙළෙඳ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදු වනු ඇති බව මහාචාර්ය අබේරත්නගේ අදහසයි.
 “අප හමුවේ ඇති විශාලම අභියෝගය වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අපට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව මේ ක්ෂේත්‍රයේ පවතින ආයෝජන ද රටට අහිමි වීමේ අවදානමක් මේ හරහා ජනිත කරවන නිසයි. මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර මේ රටවලට ගෙනයෑමට අපනයනකරුවන් පසුබට නොවන බව මගේ හැඟීමයි”.
සාර්ව ආර්ථික ස්ථායීකරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට අනුගමනය කරන්නට වූ දෘඩ ආනයන සීමා කිරීම් සහ උද්ධමන පාලනය වැනි කරුණු අභිමුව ඩොලරයට සාපේක්ෂව රුපියල යලි අධිප්‍රමාණය වූ අතර මේ තත්වය පසුගිය මාස 6 පුරාම පැවතීම හේතුවෙන් අපනයන සඳහා හිමි වූ රුපියල් ආදායමේ සැලකිය යුතු අඩුවීමක් පසුගිය වසර කිහිපයට සාපේක්ෂව දැක ගන්නට ලැබුණි. දැනට රුපියල ඩොලරයට සාපේක්ෂව 300කට ආසන්න අගයක පැවතියද කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය රුපියල අධිප්‍රමාණය වීම සීමිත අපනයන අවකාශයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක අපනයන ක්ෂේත්‍රයට ඒ තරම් සුභඵල ඇති නොකරන බව ඉවත දැමිය නොහැකි සත්‍යයකි. “අපනයන ආදායම් සීමාසහිත වන තත්වයක් තුළ රුපියල ශක්තිමත් කිරීමත් අපනයන මත පනවා ඇති බදු වැඩි කිරීමත් එක් විට සිදු කළ නොහැකිය. මේ තත්වය තුළ මුලින්ම අහිමි වන්නේ තරගකාරීත්වයයි. ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට මුහුණ දී සිටින දේශීය ණය ඉහළ අගයක් ගැනීමේ අර්බුදය තවදුරටත් ප්‍රසාරණය වුවහොත් ඇමරිකානු ඩොලරය ගෝලීය වශයෙන් අවප්‍රමාණය වීම වැළැක්විය නොහැකි කරුණක්. මේ නිසාම ඇමරිකානු වෙළෙඳමේ සංකෝචනය සහ ඇමරිකාව තුළ උද්ධමනය ඉහළ යෑම මත ගෝලීය වෙළෙඳාමේ නව අර්බුද ඇති විය හැකි අතරම ඒ සියලු අර්බුද සෘජුව හා වක්‍ර වශයෙන් අපට දැනේවී”.
මේ සියලු අභියෝග පසු පස නොපමාව සිදු කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් අභිමුවට ශ්‍රී ලංකාව පැමිණ සිටී. 1977 සිට අප කථා කරමින් සිටින අපනයනය අරමුණු කරගත් ආර්ථිකයක් වෙත යොමු වීමට නම් අපගේ බදු ප්‍රතිපත්ති, අපනයන බදු අනුපාත අවම කිරීම, සාම්ප්‍රදායික අපනයන කලාපවලට ඔබ්බෙන් වූ නව අපනයන වෙළෙඳපොළ සොයා ගැනීම සහ ගෝලීය වෙළෙඳමේ ප්‍රමුඛතම අංගයක් වන ගෝලීය වටිනාකම් දාමය හා සම්බන්ධ වීම සඳහා වූ අභ්‍යන්තර බාධක අප විසින් නොපමාව වෙනස්කර ගත යුතු වෙනවා. ඩොලර් බිලියන 12ක් 13ක් වූ අපනයන ආර්ථිකයකට යන්නට නම් නොපමාව අප විසින් උක්ත ප්‍රතිසංස්කරණ නොපමාව සිදු කර ගත යුතුයි”.
ඩොලර් බිලියන 12 ක් 13ක් වූ අපනයන ආදායමක් වෙත යෑමේදී නොපමාව වෙනස් කළ යුතු අනෙක් අංගය වන්නේ මෙරට පවතින සංකීර්ණ සහ අපනයන අධෛර්යවත් කරවන බදු ප්‍රතිපත්තියයි. බදු පදනම පුලුල් කිරීමෙන් තොරව ඉහළ වක්‍ර බදු අනුපාතයක් පවත්වාගෙන යෑම ඉහළ ආනයන රැඳියාවක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක උද්ධමනය ඉහළ අගයක්ව පැවතීමට ප්‍රමුඛතම හේතුවක් වන අතර ආනයන පාලනය, අපනයන මත දැඩි බදු පැනවීම, අවස්ථා කිහිපයක බදු ගෙවීමට සිදු වීම වැනි අපනයන දුර්වල කරන බදු ප්‍රතිපත්තිය නොපමාව වෙනස් කළ යුතුව ඇත. එසේ නොවුවහොත් දැනට අප මුහුණ දී සිටින බාහිර අභියෝගවලට අමතරව අභ්‍යන්තර අභියෝග ද මෙරට අපනයන ආර්ථිකය කෙරෙහි අනර්ථකාරී ලෙස බලපානු ඇත.
 “ආනයන මත සිදු කරන ඉහළ බදු ඇඟලුම් වැනි ක්ෂේත්‍රයක් සඳහා කිසිදු ලෙසකට හිතකර නැහැ. විශේෂයෙන්ම ඇඟලුම් සඳහා වන යෙදවුම්වලින් සියයට 70කට වැඩි ආනයන කරන බැවින් ආනයන මත ඉහළ බදු පැනවීමෙන් මෙරට ඇඟලුම් අපනයනවල පිරිවැය වෙනත් ගෝලීය තරගකරුවන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීම වැළැක්විය නොහැකිය. අපට යාබද බලවත් ආර්ථිකයක් සහිත ඉන්දියාව මෑතකදී එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් ගණනාවක් සමග විස්තීරණ වෙළෙඳ ගිවිසුම් 17කට අධික සංඛ්‍යාවක් අත්සන් තැබීමට සමත්ව සිටිනවා. 
එහෙත් ශ්‍රී ලංකාව පසුගිය වසර 10 තුළ එළැඹි වෙළෙඳ ගිවිසුම් සංඛ්‍යාව කිසිදු ලෙසකින් මෙරට අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා ප්‍රමාණත්මක නොවූ බව රහසක් නොවේ. වෙළෙඳ ගිවිසුම් සඳහා සතුරුවාදී ආකල්පයක් ජනතාව තුළ ඇති කිරීම, ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන කොණයකින් අර්ථ ගැන්වීම සහ පවතින වෙළෙඳ ගිවිසුම් ගෝලීය වෙනස්කම් වලට අනුරූපව වෙනස්කර ගැනීමට රටක් ලෙස අප සමක් වීම ගෝලීය සැපයුම් දාමය තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීමට අප සමත් විමට බලපෑ හේතු ලෙස විග්‍රහ කළ හැකියි. ගෝලීය වෙළෙඳ ප්‍රවණතා අප විසින් ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර නොගැනීම හෝ ඒ සඳහා දක්වන උදාසීන ප්‍රතිචාර අපගේ ජාත්‍යන්තර වෙළෙඳාම යල්පැන ගිය තත්වයකට සහ ඵලදායී නොවන තත්වයකට පත් කර තිබෙනවා”
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සලකා බැලීමේදී, රාජ්‍ය බදු ආදායමෙන් විශාල පංගුවක් අපනයන නිෂ්පාදන මත රඳා පවතින බව හඳුනාගත හැකියි. රජයේ බදු ආදායමෙන් සියයට 14ක් පමණ මෙම ක්ෂේත්‍රයෙන් ඉපැයීම කිසිදු ලෙසකින් අපනයන දිරිගැන්වීමක් නොවනු ඇත. දැනට පවතින පාලනය කළ නොහැකි බාහිරි අභියෝග හමුවේ මෙරට අපනයන ආදායම් සංකෝචනය විය හැකි තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක අපනයන මත පනවා ඇති අධික බදු බර සමග ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීමට අපට රටක් ලෙස නොහැකි වනු ඇත. විශේෂයෙන්ම ඇඟලුම් අපනයන මත පනවා ඇති බදු ප්‍රතිශතය කර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා කිසිදු ලෙසකින් සුබවාදී තත්වයක් ඇති කරන්නේ නැත.
 “බදු ප්‍රතිශතයන් පහත හෙළනවා නම් ඒය සිදු කළ යුත්තේ සමස්ත බදු ක්‍රමයම ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමෙන් පමණයි. මා ඉහතින් සඳහන් කළ පරිදි බදු පදනම විශාල කිරීම තුළ අලුතින් බදු ගෙවන පිරිසක් රට තුළ නිර්මාණය වීම මගින් දැනටමත් විශාල බදු ප්‍රතිශතයක් ගෙවන නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇති පීඩනය අවම කරන්නට හැකි වේවි. එමෙන්ම පුරවැසියන්ගේ ආදායම් උත්පාදන මාර්ග ඩිජිටල් තාක්ෂණික පද්ධතියකට ගොණු කිරීම මගින් පුරවැසියන්ගේ ආදායම් මූලයන් අධික්ෂණය කිරීමට සහ බදු ගෙවිය යුතු තත්වයේ සිටින පිරිස හඳුනා ගනිමින් ඔවුන් රාජ්‍ය බදු ආදායමේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. බිලියන 1.5ක ජනතාවක් ජීවත් වන ඉන්දියාවට මේ ඩිජිටල් විප්ලව කළ හැකි නම් මිලියන 22ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවට මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම ප්‍රමාද වූයේ ඇයි?. මේ කරුණු අපි ගැඹුරින් විමසා බැලිය යුතුයි”.



අදහස් (0)

ශ්‍රී ලාංකික අපනයන අවදානමේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site