IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


වාහන ආනයනයෙන් අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය පුළුල් වෙයි

 

  • වසරේ පළමු මාස හතරේදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 2,257.1 ක්
  • අපනයන ආදායම අප්‍රේල් මාසයේදී සියයට 10.4 කින් වර්ධනය වෙමින් ඩොලර් මිලියන 968 දක්වා ඉහළට
  • ආනයන වියදම සියයට 17.5 ක් දක්වා වර්ධනය වෙමින් ඩොලර් මිලියන 1,685.9 දක්වා ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට වෙළෙඳ හිඟය පුළුල් වුවද, සංචාරක ඉපැයීම් සහ විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය හිතකර මට්ටමක පැවැතීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ විදේශීය අංශය පසුගිය අප්‍රේල් මාසයේදී ශක්තිමත්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.

මෙම වසරේ අප්‍රේල් මාසයේ අපනයන වර්ධනයට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ ආනයනය ඉහළ වේගයකින් වර්ධනය වීම වෙළෙඳ හිඟය පුළුල්වීමට හේතුව වී තිබේ. අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයනය ඉහළ යෑමට ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක වාහන ආනයනය කර තිබීම ප්‍රධාන හේතුවක් බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

2024 වසරේ අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 557.7 ක්වූ මෙරට වෙ​ෙළඳ හිඟය පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 717.5 දක්වා පුළුල් වී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එසේම 2024 වසරේ පළමු මාස හතරේදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,777.1 ක් ලෙස සටහන්ව තිබූ අතර එයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතර තුළදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,257.1 දක්වා පුළුල් වී ඇත.

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂවද අප්‍රේල් මාසයේදී මෙරට වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ. පසුගිය මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 396 ක් ලෙස සටහන්වී තිබිණි.

2024 වසරේ අප්‍රේල් මාසයේදී 877.6 ක්වූ මෙරට අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 10.4 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 968 දක්වා ඉහළ ගොස් ඇතැයි එම දත්ත වාර්තාව පෙන්වා දෙයි. එසේම 2024 වසරේ අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,435.2 ක්වූ ආනයන වියදම සියයට 17.5 ක් දක්වා වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,685.9 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම දත්ත වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් විදේශ අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින් පසුගිය ජනවාරි මාසයේ සිට මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බවත් පසුගිය අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 178.5 ක් බවත් මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ. 2024 වසරේ අප්‍රේල් මාසයේදී මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 75.9 ක් ලෙස සටහන්ව තිබූ බවත් ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ අතිරික්තය සියයට 135 කින් වර්ධනය වී ඇති බවත් එම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

එසේම අපනයන මිල ගණන් පහත වැටීමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහත වැටීම නිසා අප්‍රේල් මාසය තුළ වෙළෙඳ මිල අනුපාතයද ඉහළ ගියේය.

 



අදහස් (0)

වාහන ආනයනයෙන් අප්‍රේල් මාසයේදී වෙළෙඳ හිඟය පුළුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site