අංජුල මහික වීරරත්න
වසර 2028 වන විට ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රටේ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බිඳ වැටුණු ආර්ථිකයක රාජ්‍ය ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බව කී ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බවද අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය: ණය සහ පාලනය” (Sri Lanka’s Road to Recovery: Debt and Governance) මැයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වී පැවතියද, එම තත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් රජය යටතේ ඉතා කෙටි කලක් තුළ රටට ආර්ථික ජයග්‍රහණය රැසක් අත්කර දී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් ජයග්‍රහණය කරවීම තම රජයේ අරමුණ බවද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
අද අප රටක් ලෙස ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගෙන සිටිනවා. අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට හැකියාව ලැබී තිබෙන අතර සැලකිය යුතු කාලයක් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා.
ඒ වගේම අපි අපේක්ෂා කරන රාජ්‍ය ආදායම උපයා ගැනීමටත්, අපේක්ෂා කරන විදෙස් සංචිත ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබි තිබෙනවා. මේ අයුරින් මතුපිට තලයේ ආර්ථික සාධකවල අපි ඉතා ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කරනවා. එහෙත් අර්බුදයේ ගැඹුරු තුවාල තවමත් සුව වී නැහැ. අර්බුදය තවමත් අභ්‍යන්තරව අවසන් වී නොමැති බව අපි තේරුම්ගත යුතුයි.
එසේනම්, මතුපිට තලයේ ස්ථාවරත්වයක් නිර්මාණය වී පැවතියද, එම තත්වය ස්ථාවර කර ගැනීමටත්, ආර්ථිකය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීමටත්, ආර්ථික දේහයේ නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්වීම් අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. එහිදී වැදගත් සාධක කිහිපයක් කෙරෙහි මම අවධානය යොමු කිරීමට කැමැතියි.
අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. අපි නොදැරිය යුතු පිරිවැයක් අද අපි දරමින් සිටිනවා. ඒ නිසා ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන අතරම පුරවැසියන්ට අවම පිරිවැයකින් එම සේවාව ලබා දීම අපේ අපේක්ෂාවයි. එහිදී අපි දැනටමත් තීරණය කර තිබෙනවා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමිය යුතුයි කියලා. එම රාජ්‍ය ආයතන ගොඩනැගුණේ එදා තිබු සමාජ ආර්ථික තත්වයට අවශ්‍ය වන පරිදියි. අද එම ආර්ථික සහ සමාජ තත්වය වෙනස් වී තිබෙනවා. ඇතැම් ආයතනවල පැවැත්ම පවා අවලංගු වී තිබෙනවා. ඒ නිසා අපි එය කළ යුතුයි. ඒ වගේම එකම කාර්යය වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි.
වසර 2028 වන විට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථිකයක්