
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය තවත් ඉහළට නංවමින් කුසලතා සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකනු ඩොලර් මිලියන 145 ණය මුදලක් යටතේ රජරට, සබරගමු, කැලණි සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉලක්ක කරමින් 2019 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතිය එළැඹෙන 31 වැනිදායින් අවසන් වන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
රජරට, සබරගමු සහ කැලණි විශ්වවිද්‍යාල ව්‍යාපෘති කටයුතු අවසන් වී තිබෙන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියේ කටයුතු එළැඹෙන 15 වැනිදා අවසන් වන බවත් ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය. ඒ සමග ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වන බවද ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
පාසල් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව 2013 වසරේදී ව්‍යාපෘතියක් ගෙන ආ බවත් එම ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරා හඳුන්වා දුන් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතිය බාරව කටයුතු කළ ජේ. එම්. එච්. ජයසුන්දර මහතා ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ඊට පෙර පාසල් අධ්‍යාපනය සඳහා තාක්ෂණික විෂය ධාරා නොතිබුණු බවද ඔහු පැවැසුවේය.
එලෙස 2013 වසරේදී 12 ශේණියට තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දීමත් සමග වසර දෙකකින් එම විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සිසුන්ට විශ්ව විද්‍යාල තුළ උපාධි පාඨමාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොතිබුණු බවද ඔහු ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය ලෝක බැංකුවට සහ ආසියානු සංවර්ධන බැංකුවට මෙම කරුණ යොමුකළ බවද ජයසුන්දර මහතා පැවැසුවේය.
උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව තෝරාගත් සිසුන් 2016 වසරේදී විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවත් ඔවුන් සඳහා විශ්ව විද්‍යාල තුළ උපාධි පාඨමාලා නොමැති බවත් එම සිසුන් වෙනුවෙන් උපාධි පාඨමාලා ආරම්භ කිරීම සඳහා සහාය අවශ්‍ය බවත් මුදල් අමාත්‍යාංශය එහිදී ලෝක බැංකුවට සහ ආසියානු සංවර්ධන බැංකුවට දැනුම් දී තිබූ බවත් ඔහු පැවැසුවේය.
එහිදී තාක්ෂණික විෂය ධාරාව සඳහා නව පීඨ ආරම්භ කිරීමට කැමැත්තක් තිබෙනවාදැයි ආසියානු සංවර්ධන බැංකුව මෙරට තිබෙන විශ්ව විද්‍යාල 15න් විමසා සිටි බවද ඔහු සඳහන් කළේය. ඉන් විශ්වවිද්‍යාල 10 ක් නව පීඨ ආරම්භ කිරීම සඳහා කැමැත්ත පළ කළ බවත් පහසුකම් තිබූ විශ්වවිද්‍යාල මෙන්ම නොතිබූ විශ්වවිද්‍යාලද ඒ අතර තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
කැමැත්ත පළකළ විශ්වවිද්‍යාල 10න් 6ක තාක්ෂණික විෂය ධාරාව සඳහා නව උපාධි පාඨමාලා ආරම්භ කිරීමට යටිතල පහසුකම් තිබූ බවත් නමුත් විශ්ව විද්‍යාල හතරක කිසිම පහසුකමක් නොතිබූ බවත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
එහිදී ගොඩනැගිලි පහසුකම් තිබූ විශ්වවිද්‍යාල හයෙහි තාක්ෂණික විෂය ධාරා සිසුන් සඳහා අවශ්‍ය උපාධි පාඨමාලා ආරම්භ කිරීමට සහායවීමට ලෝක බැංකුව බාරගත් බවත් කිසිදු පහසුකමක් නොතිබූ විශ්වවිද්‍යාල හතර ආසියානු සංවර්ධන බැංකුව බාරගත් බවත් ඔහු පැවැසුවේය.
කිසිම පහසුකමක් නොතිබූ විශ්වවිද්‍යාල හතරට නව පීඨයක් ආරම්භ කිරීම සඳහා ඉඩමක්වත් නොතිබූ බව ඔහු ප්‍රකාශ කළේය. මුලසිට එම විශ්වවිද්‍යාල හතර සඳහා ගොඩනැගිලි ඉදිකර, පර්‌යේෂණාගාර සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කර, ආචාර්ය මණ්ඩලය පුහුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවට සිදුවූ බවද ඔහු පැවැසුවේය. ආනයනය කළ උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී ආසියානු සංවර්ධන බැංකුවට අපහසුතාවලට මුහුණ දීමට සිදුවූ බවද ඔහු ප්‍රකාශ කළේය.
එලෙස 2019 වසරේදී තාක්ෂණික විෂය ධාරා හැදෑරු සිසුන් නව පීඨ ආරම්භ කිරීමේ ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතිය ආරම්භ වූ බවද ඔහු පැවැසුවේය. ව්‍යාපෘතිය ආරම්භ වන අවස්ථාවේ තාක්ෂණික විෂය ධාරාවෙන් සුදුසුකම් ලැබූ සිසුන් කණ්ඩායම් දෙකක් විද්‍යා පීඨ තුළ තාක්ෂණික විෂය ධාරාව සඳහා වන උපාධි පාඨමාලා හදාරමින් සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
උපාධි පාඨමාලාවේ තෙවැනි අවුරුද්ද වන විට නව පීඨ සූදානම් කර දෙන බවට ආසියානු සංවර්ධන බැංකුව එම කණ්ඩායමේ සිසුන්ට පොරොන්දුවක් ලබාදුන් බවද ඔහු පැවැසුවේය. එම විශ්ව විද්‍යාල හතර සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 145 ක ණය මුදලක් අනුමත කළ බවද ඔහු ප්‍රකාශ කළේය. රජරට විශ්වවිද්‍යාලයට පමණක් ව්‍යපෘතිය යටතේ ඩොලර් මිලියන 30 ක මුදලක් වෙන්වූ බවද ඔහු පැවැසුවේය.
රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය එම ණය මුදල යටතේ ආරම්භ වූ එක් පීඨයක් බවත් අනෙකුත් පීඨ වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණික පීඨය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය බවත් ජයසුන්දර මහතා පැවැසුවේය.
එසේම කුලියට ගත් ගොඩනැගිල්ලක තිබූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය මුලසිට ඉදිකර දුන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ආසියානු සංවර්ධන බැංකුව ඉඩම් මිලදී ගැනීම සඳහා ණය මුදල් නොදෙන බවත් එම විශ්වවිද්‍යාල සඳහා ඉඩම් මිලදී ගැනීම රජය බාරගත් බවත් ඔහු පැවැසුවේය.
රජයේ එම විශ්වවිද්‍යාල සඳහා ඉඩම් සොයා අනෙකුත් කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළේය. එහිදී රජරට විශ්වවිද්‍යාලයට එම විශ්වවිද්‍යාලයේ සීමාවේම ඉඩමක් සොයාගැනීමට හැකියාව ලැබුණු බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉදිකිරීම් කටයුතු මෙම මස 15 වැනිදා අවසන් වන බවත් ඔහු පැවැසුවේය.
අනෙකුත් විශ්වවිද්‍යාලවල පීඨ මේ වනවිට එම විශ්වවිද්‍යාලවලට බාරදී තිබෙන බවද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ මානව හා සමාජ සංවර්ධන අංශය ව්‍යාපෘතිය බාරව සිටි බවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වඩා එම අංශය සළකා බැලුවේ ව්‍යාපෘතියෙන් සිදුවන සමාජ සංවර්ධනය පිළිබඳව බවද ඔහු පැවැසුවේය.
එසේම ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 පර්‌යේෂණ සඳහා වෙන්කර තිබෙන බවද ඔහු පැවැසුවේය. ණය මුදල ලබාදී ඇත්තේ වසර 29 ක කාල සීමාවක් සඳහා බවත් ඉන් වසර 5 ක් සහන කාලයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල හතරක කුසලතා සංවර්ධන ADB ව්‍යාපෘතිය සාර්ථකව අවසන්