IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිය ගාස්තු වෙළෙඳපොළට බලපෑමක් කරන අවදානමක්

මෙම වසරේ අවසාන කාර්තුව සඳහා සියයට 6.8 ක විදුලිය ගාස්තු නැංවීමක් යෝජනා වී තිබේ. විදුලිය බල මණ්ඩලය වෙනුවට මහා භාණ්ඩාගාරයට කොටස් අයිතිය හිමි අලුත් සමාගම් හතරක් ස්ථාපිතකර ඇති අතර මෙම සමාගම් අතරින් ගාස්තු නැංවීමට අවසර ඉල්ලන නීත්‍යානුකූල අයිතියක් හිමිආයතනය ගැන පැහැදිලි නැත. කෙසේ වෙතත් ගාස්තු නැංවීම සම්බන්ධයෙන් ලබන මස හත්වැනි දා දක්වා මහජන අදහස් ලබාගැනීමට නියමිතය.

විදුලිබල මණ්ඩලය ජුනි මාසයේ දී මෙම වසර අවසන් වන තෙක් සියයට 18 ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කළ අතර ඉකුත් ජුනි 13 වැනි දා සිට සියයට 15 ක ගාස්තු සංශෝධනයකට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර දී තිබුණි. එසේ තිබිය දී නැවතත් සියයට 6.8 ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින අතර එය ගෘහස්ථ පාරිභෝගිකයන්ට හා ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ. ජුනි මාසයේ දී මහජන නියමන කොමිසම අවසර නුදුන් සියයට තුන ප්‍රතිශතය වෙනුවට දෙගුණයකටත් වඩා ප්‍රතිශතයකින් ගාස්තු වැඩිකිරීමට අවසර පැතීම ගැටලු සහගත තත්වයකි. කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මෙම වසරේ මුල්‍ය මෙහෙයුම් තව දුරටත් අඩාල කිරීමට විදුලිය බිල හේතු විය හැකිය.

දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,612.40 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 29.43 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,873.12 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 13.04 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.84 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 28,201 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 141.0 ක් විය. සමාගම් 137 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 113 කි. 

විදේශ ආයෝජකයන්ගේ හැසිරීම තවමත් විකිණීමේ ප්‍රවණතාවක පවතී. ඉකුත් සතියේ අවසාන දින දෙක තුළ මිල දී ගැනීම් රුපියල් මිලියන 141 ක වූ අතර විකිණීම් රුපියල්මිලියන 1,243 ක් විය. රුපියල් මිලියන 1,102 ප්‍රමාණයක් මෙම දින දෙක තුළ පමණක් මෙරටින් බැහැර වී තිබේ. 

නිරීක්ෂක



අදහස් (0)

විදුලිය ගාස්තු වෙළෙඳපොළට බලපෑමක් කරන අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site