IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


වෘත්තීයවේදීන්ගේ සමුළුව ලබන මාසයේ කොළඹදී

 


සුජිත් හේවාජුලිගේ


ශ්‍රී ලංකා වෘත්තියවේදීන්ගේ සංවිධානයේ (OPA) 39 වැනි වාර්ෂික සම්මේලනය කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ලබන මස 11 සහ 12 යන දෙදිනේදී පැවැත්වේ.

ලබන මස 11 වැනිදා පැවැත්වෙන එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහභාගී වෙති.

‘ශ්‍රී ලංකාව දැක්මෙන්- ප්‍රකෘතිමත්වීමෙන් ඔබ්බට”‍ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මේලනයේදී උසස් මට්ටමේ සංවාද දැනුම හුවමාරු කර ගැනීමෙන් තිරසර සංවර්ධනය සඳහා නව්‍ය හා ප්‍රායෝගික මාර්ග සොයා බැලීමක් කෙරෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති

(තේරී පත්වූ) තිසර ද සිල්වා මහතා එම සංවිධාන මූලස්ථානයේදී ඉකුත්දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

බුද්ධිමය නායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය ඉටුකරන සුවිශේෂී කාර්යභාරයද මෙහිදී විමසුමට ලක් කෙරෙන බව හෙතෙම සඳහන් කළේය.

අගෝස්තු 12 දිනයේදී පැවැත්වෙන සමුළුව සම්පූර්ණයෙන්ම තාක්ෂණය සැසි සඳහා වෙන්කර ඇත. 

සම්මේලනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෘත්තිය වේදීන්ගේ සංවිධානයේ වාර්ෂික සම්මේලන කමිටුව විසිනි.

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ මූලික මෙහෙවර වන්නේ සාමූහික දැනුම හා විශේෂඥතාව ජාතික සංවර්ධනයට යොදා ගැනීමයි. සංගමය දැනට වෘත්තීය ක්ෂේත්‍ර තිස් හතරක් නියෝජනය කරන සාමාජික සංගම් පනස් දෙකකින් සමන්විත වේ. මේ අනුව එම සංවිධානය නීතිය, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකරණ, සැපයුම් දාම කළමනාකරණය, ගෘහ නිර්මාණ ශිල්පය සහ බැංකුකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් හැට දහසකට අධික පිරිසක් වෙනුවෙන් වේදිකාවක් ලෙස කටයුතු කරයි.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා වෘත්තියවේදීන්ගේ සංවිධානයේ සභාපති ජයන්ත ගල්ලෙහේවා ප්‍රධාන ලේකම් ඉංජිනේරු රවී රූපසිංහ උප සභාපති භාණු විජයරත්න සහ භාණ්ඩාගාරික දර්ශන විජේමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (0)

වෘත්තීයවේදීන්ගේ සමුළුව ලබන මාසයේ කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site